ප්‍රමුඛ රාජ්‍ය ආයතන ගනුදෙනු ජාලගත කර බදු දැලට හසුකර ගැනීමේ ක්‍රමවේදයකට සූදානම් වෙයි

  👤  3076 readers have read this article !
By mawbima 2018-07-12

හර්ෂනී අර්සකුලරත්න

මෙරට ප්‍රමුඛ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් ඒ ආයතන මඟින් වන ගනුදෙනු ජාලගත කිරීමකට ලක් කොට බදු ගෙවිය යුත්තන් බදු දැලට හසුකරගැනීමේ වැඩපිළිවෙළ ඉදිරි වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමේ කටයුතු සම්පාදනය වෙමින් පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ පහට වඩා වැඩි වූවන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ගනුදෙනු සහ පිටරට සංචාර ආදිය නිරීක්ෂණය මේ ජාලගත කිරීම මඟින් සිදුවන බවද එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් නඳුන් ගුරුගේ 'මව්බිම'ට පැවැසුවේය.
මේ වන විට ආයතන අටක් එම අවබෝධතා ගිවිසුමට අස්සන් තබා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ජාලගත වීමට සූදානම් බවද හඳුනාගත් ආයතන 32ක් මේ ජාලගත කිරීමට බලාපොරොත්තුවන බවද ඔහු සඳහන් කළේය.

මේ ක්‍රියාදාමය දැනට ස්වයංක්‍රියව සිදුනොවුණත් ආයතන රැසකින් ආයතනික මට්ටමින් ලබාගන්නා තොරතුරු අනුව අදාළ පුද්ගලයන් පිරික්සීම කරන බවද හෙතෙම පැවැසීය.

මේ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආයෝජන මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, දුරකථන සමාගම් හා ශ්‍රී ලංකා රේගුව ඇතුළු ප්‍රමුඛ ආයතන 32ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔස්සේ ජාලගත වෙමින් බදු ගෙවිය යුත්තන් පිරික්සීමකට ලක් කරන බවද ඔහු පැවැසුවේය.

වයස අවුරුදු 18ට වැඩි සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම අංකයක් දී එය උපයෝගි කරගනිමින් තොරතුරු ජාලයට ඇතුළත් කිරීම තුළින් මේ ක්‍රියාදාමය කිරීමට නියමිත බවද හෙතෙම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon