ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින් නව සන්ධානයක් හදන්න අපි තීන්දුවක් ගත්තා

  👤  3211 readers have read this article !
By mawbima 2018-07-12

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස නව සන්ධානයක් යටතේ දේශපාලන වශයෙන් ගොනු විය යුතු බවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ ඒකමතිකව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය.
මේ පිළිබඳව සාකච්ඡා ඉදිරි සතියේදී නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී සිදු කරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඊයේ (11දා) බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින්

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ඊයේ (10දා) සවස ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවෙසේදී පැවැත්වූවා. එහිදී ගනු ලැබූ තීරණ අතර ප්‍රධාන වශයෙන්ම දැනුම් දිය යුතු තීරණ කිහිපයක් තිබුණා. ඉන් එකක් තමයි ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුයි කියන යෝජනාව. ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ නිල විපක්‍ෂයේ අයිතිය හා වරප්‍රසාද කිසිවක් ලබා දෙන්නේ නැහැ. වරප්‍රසාද ලෙස අපි සඳහන් කරන්නේ භෞතික වරප්‍රසාද නෙවෙයි. කමිටුවලට සහභාගි වීම, කථික කාලය ආදී අපට බලපාන ප්‍රධාන කාරණා පැහැරගෙන තිබෙන්නේ. එම නිසා අපි කථානායකවරයාට අවස්ථා කිහිපයකදීම දැන්වූවා. නමුත් මේ මොහොත දක්වාම ඒ කියන්නේ වසර තුනක්ම සැබෑ විපක්‍ෂයේ හඬ යටපත් කිරීමට ආණ්ඩුව හා නිල විපක්‍ෂය කටයුතු කරනවා.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ ඒකමතිකව තීරණය කළා නව සන්ධානයක් ලෙස දේශපාලන වශයෙන් ගොනු විය යුතුයි කියලා. ඒ සඳහා නමකුත් යෝජනා වෙලා තිබුණා ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින්.

මේ අතරේ අපේ තරුණ මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායම දැවැන්ත සත්‍යග්‍රහයක් කොළඹදී අගෝස්තු 17 පැවැත්වීමට සූදානම් වෙනවා. හරියටම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා වසර තුනක් ගත වන මොහොතේ තමයි මේ උද්ඝෝෂණය පවත්වන්නේ. එම උද්ඝෝෂණය ආණ්ඩුව ගෙදර යැවීමේ ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

දින 30ක් තුළ මහජන නියෝජිතයන් තිදෙනකු ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම පසුගිය මාස 06ක කාල සීමාව තුළ මේ රටේ හොරකම් 1260ක්, ස්ත්‍රී දූෂණ 714ක්, ඝාතන 274ක් සිදුවී තිබෙන බව. රට ගමන් කරන දිශානතිය තේරුම් ගන්න මේක හොඳ හරස් කැපුමක්. මීට අවුරුදු 4කට කලින් කොළඹ නගරය ජාත්‍යන්තර ආයතන හැඳින්වූවේ ලෝකයේ ලස්සනම සහ ආරක්‍ෂිතම නගරය කියලා. එහෙම තිබුණු අගනුවර කොහොමද අවුරුදු 4ක් තුළ අවලස්සන සහ අනාරක්‍ෂිතම අගනුවර වන්නේ.

මෑතකදී සිදුවූ ඝාතන සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කළ ප්‍රකාශ දිහා බැලූ විට තේරෙන්නේ ඔහු පාතාලයේ මාධ්‍ය ප්‍රකාශකගේ වැඩේ කළ බවයි. බරපතළ කාරණය තමයි ඊයේ පොලිසිය භාර නියෝජ්‍ය ඇමැතිවරයා පුවත්පත් සාකච්ඡාවක් තියලා කියනවා මේ සියලු ඝාතන සිදු කරන්නේ බන්ධනාගාරය තුළ සිටිමින් බව.

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා,

ප්‍රකාශයට පත් කළා. වාහන වැරැදි සම්බන්ධයෙන් නව සංශෝධිත දඩ මුදල් ක්‍රියාත්මක කරන බව. දඩ මුදල් වැඩි කිරීම තුළින් වාහන අනතුරු අවම වෙන ක්‍රමවේදයකට ගෙනියන්න පුළුවන්ද කියන ප්‍රශ්නය පැනනඟිනවා. මේ අයකරන දඩ මුදල් සහ වැඩිකරන ඉන්ධන ගාස්තු යොදවන්නේ කුමන අරමුණකටද යන්න පිළිබඳව විශාල ගැටලුවක් අපට තිබෙනවා.

ඇමැති මණ්ඩලය වැඩි වෙන්න වැඩි වෙන්න ජනතාවගේ බදු මුදල්වලින් මේ අයව නඩත්තු කරන්න වැයවෙන මුදල වැඩි වෙනවා. ආසියාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය පසුගියදා අත්අඩංගුවට ගත් බව අපි දැක්කා. දැන් ආණ්ඩුවට මෙච්චර ඇමැතිවරු ඉන්න එකේ කුඩු පාලනය කරන්න හරි වැඩි කරන්න හරි කුඩු ඇමැති කෙනෙක් පත් කරන්න. ඒකට අපි විරුද්ධ වෙන්නේ නැහැ.

2050 වනවිට සංවර්ධිත ශ්‍රී ලංකාවක් හදන බව සිංගප්පූරු අගමැතිවරයාත් සමඟ අගමැති රනිල් කියනවා. සිංගප්පූරුවට ගිහින් සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගැන කතා කරන්නේ චීනයට හම්බන්තොට වරාය විකුණලා, මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකුණන්න හදන ගමන්. 2050 සංවර්ධිත ශ්‍රී ලංකාවක් හදන විට එතුමාට ඔය තනතුරේ ඉන්න වයස වැඩියි.

ඉෂාරා සිල්වා
ඡායාරූප - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon