නිදහසේ වැටිලා නිදා ගන්න තැනක් කවුරු හරි හදලා දෙන්න

  👤  3207 readers have read this article !
By mawbima 2018-07-12

දරුවන්ගේ තාත්තා ඉන්න කාලේ මා පොළකට තියා ළඟ පාත කඩේකටවත් යන්න දුන්නේ නෑ. ඒ සේරටම වැඩකාරයෝ හිටියා. ඒ විදියටයි එයා මාව පරිස්සම් කළේ. එයා නැති කාලෙක ජීවත් වෙන්න කියලා ගෙදර තිබුණා එයාගේ කාරෙකත් මට එළවන්න පුරුදු කෙරුවා. ඒත් පුතාලගේ තාත්තා 1974දී හදිසියේම මැරුණට පස්සේ තමයි දන්නෙම නැතිව මගේ ජීවිතේ දවසින් දවස වළපල්ලට ගියේ. වළපල්ලට ගියා කියන්නේ ඉන්න හිටින්න තැනක් නැතිව කන්න දෙන්න කෙනෙක් නැතිව මම හිඟානොකා හිඟා කන ගානට මහ පාරට වැටුණා.

වියපත් මවකගේ මුවින් එළියට පනින්නට ආ හැඬුම ඇය පපුව අස්සේම තදකර ගනිමින් සිය කතාව හෙමින් සැරේ කියන්න ගත්තාය. දරුවෝ පස්දෙනා ගැනයි, කලින් ජීවත් වෙච්ච හැටියි මතක් වෙන මොහොතක් පාසා හැඬෙනවා යැයි ඇය කියූ කතාව ඇත්තකි.
ඒ මව ඇය කියන දේවල් සත්‍ය බව පෙන්වීමට උත්සාහ කළේ මහ වස්තුවක් මෙන් අත් දෙකින්ම බදාගත් ඇක්සයිස් පොතක තිබෙන ලියකියවිලි හා තුණ්ඩු කෑලි කීපයක් පෙන්වමිනි. ඇය සතු අනෙක් වස්තුව වන ඇඳුමක් දෙකක් බහාලූ ෂොපින් බෑගයක්ද කකුල් දෙක අසලම තබාගෙන සිටියාය.

මගේ නම ආර්. සෝමලතා. මට අවුරුදු 76ක් වෙනවා. මගේ ගමත් නුවරඑළියම තමයි. මට තව සහෝදර සහෝදරියෝ තුන්දෙනෙක් ඉන්නවා ජීවතුන් අතර. ඒ වගේම මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. එක පුතයි, දුවලා හතර දෙනයි.

ඒ අය මගේ ළඟ නෑ. පිට පළාත්වල ඉන්නේ. සමහර අය බැඳලා. හුඟක් ඉස්සර තමයි මගෙන් අෑත් වුණේ. මට එයාලව ජීවත් කරවන්න බැරි තත්ත්වෙට වැටෙනකොට දරුවෝ එක එක තැන්වලට, පුණ්‍ය ආයතනවලට භාර දුන්නා.

තිබුණු ඉඩකඩම්වල ප්‍රශ්න ආවට පස්සේ එව්වත් කුණු කොල්ලයට විකුණලා සහෝදර සහෝදරියන්ගේ කොටසුයි, දරුවන්ගේ කොටසුයි දීලා, මමත් සල්ලි ටිකක් පොතේ දාගෙන ඒකෙන් ජීවත් වුණා.

දැන් මහ පාරට වැටුණට පස්සේ තමයි කල්පනා වෙන්නේ අපේ දරු පවුලටයි, මටයි මොකද මේ වුණේ කියලා. අතේ පයේ හයිය තියෙන කාලේ නුවරඑළියෙ ඉස්කෝලයක් භාර සිස්ට කෙනකුගේ බංගලාවේ උයන පිහන එක කළා. දැන් ඒකත් බෑ. කවුරු හරි දෙන දෙයක් කෑවත් කඩ පිලක, බස් හෝල්ට් එහෙක වැටිලා නිදා ගන්න බෑ. සීතල දැන් උහුලන්න අමාරුයි. මම වැඩිහිටි නිවෙසකට හරි යන්න කැමැතියි. ඒත් ගිය හැම තැනකින්ම වාගේ කිව්වේ කවුරු හරි භාර දුන්නොත් එයාලා භාර ගන්නවලු. අනේ මාව භාර දෙන්න දැන් කවුද එන්නේ.

මට වැඩිහිටි දීමනාව මාසෙකට 1900ක් හම්බ වෙනවා. සමෘද්ධියෙන් දාහක් ලැබෙනවා. දරුවෝ දෙන්නෙක් මාස දෙක තුනකට හමාරකට සැරයක් රුපියල් දාහක් විතර එවනවා. එයාලටත් ඊට වැඩිය කරන්න බෑ කියලා මට තේරෙනවා. එයාලත් මාව ඒ තැන්වල, ගෙවල්වල තියාගන්න කැමැති නෑ. එයාලටත් ප්‍රශ්න. අනික් එක එයාලා පුංචි කාලෙම වාගේ මගෙන් වෙන්කරපු හින්දා අම්මා කියන කැක්කුම අඩුයි වගේ. ඒකට ‍ෙදාස් කියන්න බෑ. ඒත් මේක මම ගෙනාපු දෛවය කියලා හිත හදාගන්නත් බෑ. සීතල උහුලා ගන්න බැරි වුණත් ජර්සි කෑල්ලක් පටලවාගෙන මේ තැන තැන ඇවිදින්නේ මේක මම උපන් නගරය හින්දා දන්නා කියන අය කීයක් කීයක් හරි දෙන හින්දා. ඒත් සීතලෙන් බේරෙන්න කියලා පිට පළාතකට ගිහින් ඒ විදියට ජීවත් වෙන්න බෑ.

ඒ හින්දා බඩට මොනව හරි කාලා නිදහසේ වැටිලා නිදාගන්න තැනක් හොයා ගන්න පින් කැමැති කවුරු හරි උදවු කරන්න කියලා තමයි ඉල්ලන්නේ.

එසේ පැවැසූ ඇය ඒ අයුරින් උදවු උපකාර කළ හැකි අයෙක් වේ නම් ඇය නිතරම වාගේ යන එන ඇයට උදවු උපකාර කරන නිවෙසක දුරකථන අංකය සහිත කොළ කැබැල්ලක් අප වෙත දිගු කළා.

එහි තිබුණේ 052-2223213 යන දුරකථන අංකයයි.
හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon