යුද හමුදාව හා පොලිසිය ‘ඒ’ කාණ්ඩයේ ශූරතා බෙදා ගනිති

  👤  3443 readers have read this article !
By mawbima 2018-07-11

විචිත්‍ර වීරසිංහ

බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා "ඊවා" කුසලාන දැල්පන්දු තරගාවලියේදී එක්ස්පෝ ලංකා කණ්ඩායම 72-58ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම "ඒ" කාණ්ඩයේ කාන්තා ශූරතාවත්, නෙට් ෆයර් කණ්ඩායම 14-09ක් ලෙස පරාජයට පත්කළ ශ්‍රී ලංකා පොලිසිය එම කාණ්ඩයේ පිරිමි ශූරතාවත් දිනාගනු ලැබීය.

කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා පිටියේදී පැවැති මෙම තරගාවලියේදී කැම්බල් ක්‍රීඩා සමාජය 16-11ක් ලෙස පරාජය කළ නෙට් ෆයර් කණ්ඩායම "බී" කාණ්ඩයේ කාන්තා ශූරතාව දිනාගත් අතර, පැන්තාස් කණ්ඩායම 14-03කින් පරාජයට පත්කළ ස්පීඩ් බර්ඩ්ස් කණ්ඩායම අවුරුදු 40න් ඉහළ ප්‍රවීණයන්ගේ කාන්තා ශූරතාව දිනාගැනීමට සමත් විය.

කෙසේ වෙතත් එම තරගාවලියට සමගාමීව පැවැති පාසල් තරගාවලියේදී කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම 14-13ක් ලෙස පරාජය කළ කොළඹ මියුසියස් කණ්ඩායම අවුරුදු 15න් පහළ ශූරතාවත්, කොළඹ ගෝතමී බාලිකා කණ්ඩායම 16-13ක් ලෙස පරාජය කළ කුරුණෑගල මලියදේව බාලිකා කණ්ඩායම අවුරුදු 17න් පහළ ශූරතාවත්, ගම්පහ සිරිකුරුස විදුහල 26-12කින් පරාජය කළ කුරුණෑගල ශූද්ධ වූ පවුලේ කන්‍යාරාම බාලිකාවෝ අවුරුදු 19න් පහළ ශූරතාවත් දිනාගත්හ.

මේ අතර "ඒ" කාණ්ඩයේ තරගාවලියේදී එක්ස්පෝ ලංකා ආයතනයේ ෂෙරීන් නුගේරාටත්, "බී" කාණ්ඩයේ තරගාවලියේදී මෙට් ෆයර් කණ්ඩායමේ මල්කි ඩිලෂානිටත්, අවුරුදු 40න් ඉහළ ප්‍රවීණයන්ගේ තරගාවලයේදී චම්පා පෙරේරාටත් හොඳම ක්‍රීඩිකාවන්ට හිමි සම්මාන හිමිවිය.

තවද අවුරුදු 15න් පහළ තරගාවලියේදී මියුසියස් විදුහල් කණ්ඩායමේ මෙතන්ගා ගුණරත්නත්, අවුරුදු 17න් පහළ තරගාවලියේදී මලියදේව බාලිකා විදුහල් කණ්ඩායමේ සජනි යාපා හා අවුරුදු 19න් පහළ තරගාවලියේදී කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පබසරා තෙන්නකෝන් හොඳම ක්‍රීඩිකා සම්මාන හිමි කරගත් අතර, ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ තාරුකා අශ්විනි දැල්පන්දු රැජින ලෙස සම්මාන දිනාගත්තාය.

ඡායාරූපය _ ඒෂාන් දසනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon