රුසියාවට බැට දුන් කේ‍රායේෂියාව අද එංගලන්තයට හිසරදයක් වෙයිද?

  👤  3382 readers have read this article !
By mawbima 2018-07-11

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය මොස්කව් නුවර, ලුස්නිකි ක්‍රීඩාංගණයේදී අද (11දා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11.30ට ආරම්භ වීමට නියමිත අතර, එහිදී එංගලන්තය හා කේ‍රායේෂියාව තරග වැදීමට නියමිතව ඇත.

මෙම කණ්ඩායම් ද්විත්වය ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය වන අතර එම කණ්ඩායම් අතුරින් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ගෞරව හිමිකරගෙන ඇති කණ්ඩායම වන්නේ එංගලන්තයයි. මෙවර තරගාවලියේ සහභාගීත්වයත් ඇතුළුව එංගලන්තය ලෝක කුසලාන තරගාවලි 15කටත් කේ‍රායේෂියාව ලෝක කුසලාන 5කටත් ක්‍රීඩා කර තිබේ. 1966 වසරේ ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වූ එංගලන්තය යම් හෙයකින් අද තරගය ජයගත හොත් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගන්නේ වසර 52කට පසුව වීමද විශේෂත.

1998 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී පළමු සහභාගීත්වය සටහන් කරන කේ‍රායේෂියාව එම තරගාවලියේ 3වැනි ස්ථානය හිමිකරගනිමින් ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් ලබා ඇති ඉහළම ජයග්‍රහණය සටහන් කර ඇත. ඒ අනුව සලකා බලන කල්හි අද තරගය ජයගැනීමට කේ‍රායේෂියාව සමත් වුවහොත් ප්‍රථම වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට ක්‍රීඩා කිරීමට ඔවුන්ට වරම් හිමිවනු ඇත.

මෙවර තරගාවලියේ මූලික වටයේ තරග වලදී 'ජී' කාණ්ඩයෙන් තරග වැදුණු එංගලන්තය එම වටයේදී ටියුනීසියාවට එරෙහිව ගෝල 2-1ක් ලෙසත් පැනමාවට එරෙහිව ගෝල 6-1ක් ලෙසත් ජයග්‍රහණ වාර්තා කලද බෙල්ජියම හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය විය. අවසන් කණ්ඩායම් 16 වටයේදී කොලොම්බියාවට එරෙහිව ඉතා තියුණු තරගයකින් අනතුරුව දඬුවම් පහර 4-3ක් ලෙසද, අර්ධ අවසන් පූර්ව වටයේදී ස්වීඩනය ගෝල 2-0ක් ලෙසද පරාජය කරන්නට එංගලන්තය සමත් විය.

තවද මූලික වටයේ 'ඩී' කාණ්ඩයෙන් තරග වැදුණු කේ‍රායේෂියාව එම තරග වටයේදී අපරාජිතව අවසන් කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලබාගත්තේය. එම තරග වටයේදී නයිජීරියාව ගෝල 2-0ක් ලෙසද, අයිස්ලන්තය ගෝල 2-1ක් ලෙසද කේ‍රායේෂියාව හමුවේ පරාජය වූ අතර පසුගිය ලෝක කුසලාන අනුශූරයන් වූ ආජන්ටිනාව කේ‍රායේෂියාව හමුවේ ගෝල 3-0ක් ලෙස පරාජය වීම මෙවර තරගාවලියේ වඩාත්ම කැපී පෙනුණු සිදුවීමක් විය. අවසන් කණ්ඩායම් 16 තරග වටයේදී කේ‍රායේෂියාව හමුවේ දඬුවම් පහර 3-2ක් ලෙස ඩෙන්මාර්කය පරාජයට පත්වූ අතර අර්ධ අවසන් පූර්ව වටයේදී සත්කාරක රුසියාව දඬුවම් පහර 4-3ක් ලෙස පරාජයට පත්කරන්නට කේ‍රායේෂියාව සමත් වීමද කැපී පෙනුණි.

එමෙන්ම එංගලන්ත කණ්ඩායමේ නායක හැරී කේන් සහ කේ‍රායේෂියා කණ්ඩායමේ නායක ලුකා මොඩිරිච් යන ක්‍රීඩකයන් දෙදෙනා මෙවර තරග වැදුණ කණ්ඩායම් අතුරින් මෙතෙක් වැඩිම දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයන් වීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් බෙල්ජියම හා ප්‍රංශය අතර අද අලුයම නිමාවීමට නියමිතව තිබූ පළමු අවසන් පූර්ව වටයේ තරගයෙන් ජයගැනීමට බෙල්ජියම සමත් වුවහොත් ඔවුන්ගේ වසර 88ක ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලබන පළමු අවස්ථාව වන අතර, එම තරගය ප්‍රංශය ජයගතහොත් වසර 12කට පසුව තෙවැනි වරටත් අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ වරම ප්‍රංශයට හිමි වනු ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon