20 සම්මත කර ගැනීමෙන් ප්‍රශ්න රැසකට විසඳුම් ලැබෙයි

  👤  3463 readers have read this article !
By mawbima 2018-07-11

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම තුළින් රටේ ඇතිවී තිබෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගත හැකි බව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පවසති.

උදිත හිමියන් මේ බව පැවැසුවේ ඊයේ (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මාධ්‍ය හමුවේදී වකමුල්ලේ උදිත හිමියෝ මෙසේද පැවැසූහ.

ආණ්ඩුවක් නැති රටක් වගෙයි අද අපේ රට අපට පෙනෙන්නේ. මේ ආණ්ඩුවට සාමූහිකව තීන්දු තීරණ ගන්නට හැකියාවක් නැති තත්ත්වයක් පෙනෙන්නට තිබෙන්නේ. අගමැතිවරයා උදේ ගන්න තීන්දු ජනාධිපතිවරයා රෑට වෙනස් කරනවා. එසේ ආණ්ඩුවකට කටයුතු කළ හැකිද යන්න පිළිබඳව අපට ප්‍රශ්නයක් මතුවෙනවා. ආණ්ඩුවක් තීන්දු තීරණ එකට ක්‍රියාත්මක කළ යුතුයි.

අද කුමක්ද සිදුවෙලා තියෙන්නේ. ජනාධිපති කරන දෙය අගමැති දන්නේ නැහැ. මේක අමුතු රටක්. අමුතු ආණ්ඩුවක්. යහපාලනය කියන්නේ මෙය නොවෙයි.

විධායක ජනාධිපති ක්‍රමය සහිත පාලන ක්‍රමය නිසයි මෙවැනි අර්බුද රාශියක් රටේ ඇතිවී තිබෙන්නේ. මේ ප්‍රශ්න නවතින්නේ නැහැ. එදත් එහෙමයි. අදත් එහෙමයි. දැන් රටේ මිනීමැරුම් වැඩිවෙලා. එක දවසේ මිනිස්සු හතරදෙනා, පස්දෙනා මරනවා. රට කෙරෙහි ඇති විශ්වාසවන්තභාවය මේ නිසා නැතිවී යනවා. රටේ නීතියේ ආධිපත්‍යය අපට පෙනෙන්නේ නැහැ


මේ හේතු නිසා ඇතැමුන් කියනවා මේ රටට ඒකාධිපති පාලනයක් අවශ්‍යයි කියලා. සමහරු කියනවා එල්.ටී.ටී.ඊ. ය නැවත රටට අවශ්‍යයි කියලා. සියලු තැන් පිරිහී ඇති නිසයි මෙවැනි ප්‍රකාශ අද ඇතැම් අය නිකුත් කරන්නේ. අපි මේ රටේ වෙන දේවල් මාධ්‍යවලින් දකිනවා. නමුත් ජනාධිපතිවරයා කියනවා රටේ ප්‍රශ්න නැහැයි කියලා. කාගේ ඔළුව නරක් වෙලාද කියලා අපට හිතාගන්න බැහැ. ජනාධිපතිතුමා මානසික පීඩනයකින් ඉන්නවාද දන්නේ නැහැ.

ඉතිහාසයේ මෙවැනි විකාරරූපී සහ පිළිකුල්ම පාලන ක්‍රමයක් මම නම් දැක නැහැ. අපට හොඳ කියන්නට පුළුවන් කිසිම පාලකයෙක් දැන් ඇත්තේ නැහැ. ගමේ ග්‍රාමසේවක දක්වා පාලන තන්ත්‍රය පිරිහිලා.

රටේ ජාතිවාදය අවුස්සන්නට ප්‍රකාශ නිකුත් කරනවා නම් එයට අප විරුද්ධයි. එවැනි ප්‍රකාශ නිකුත් කරන අයට රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමකට පත්වන්නට බැහැ.
අප කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය මහ පොළොවේ ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගත යුතුයි.

එය සම්මත කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට බලපෑම් කරන්නට සමාජය පෙලඹවිය යුතුයි. මෙම ව්‍යාකූල සමාජ තත්ත්වය වෙනස් කර ගැනීම වෙනුවෙන් අපි වහා කටයුතු කළ යුතුයි. රට ව්‍යාකූල වුවහොත් ජනතාව ජීවත් වන්නේ කොහොමද? රට ගොඩනැඟීම සඳහා පුළුල් මහජන කථිකාවතක් ඇති විය යුතුයි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon