මෛත්‍රි - රනිල් දෙන්නාගේ පුටු අපි එකතු වෙලා රත් කරමු

  👤  3547 readers have read this article !
By mawbima 2018-07-11

වත්මන් ආණ්ඩුව යටතේ ඉහළ ගොස් ඇති ජීවන වියදමට සරිලන අවම වැටුප රුපියල් 39,000ක් දක්වා ඉහළ දැමිය යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ලාල්කාන්ත මහතා පැවැසුවේ අද වන විට හතර දෙනකුගෙන් යුත් පවුලක බඩු මල්ලක් ආදායමට වඩා රුපියල් හත්දහස් ගණනකින් ඉහළ ගොස් ඇති බවය.

අගමැති රනිල් වික්‍රමසිංහ ගම්පෙරළියක් කරන්න පෙර ජනතාවගේ ඉහළ ගිය ජීවන අංකයට සරිලන අවම වැටුප ඉහළ දැමිය යුතු බව ඒ මහතා අවධාරණය කළේය.
තම වැටුප වැඩි කර ගැනීමේ දැවැන්ත අරගලයකට සියලු දෙනා පක්ෂ පාට නොබලා ඒකරාශී විය යුතු බවට ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සමස්ත ලංකා සුවසේවා සංගමයේ 20 වැනි මහ සමුළුව අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා
තෙල් මිල වැඩි කරද්දී වෙනදා තෙල් සංස්ථාව එක්ක කතා කරනවා. දැන් භාණ්ඩාගාරය පමණයි ඒ තීරණය ගන්නෙ. මේවා දැන් මෛත්‍රි ජනාධිපති දන්නෙ නෑ කියන්න බෑ. මොකද මීට මාස කිහිපයකට කලින් කිව්වා මෙච්චර කල් රට කෙරුවේ රට විනාශ කළේ යූඑන්පීය. මින්පසු මමයි ආණ්ඩු කරන්නෙ කියලා. දැන් මේ යන්නෙ මෛත්‍රිගේ කාලේ.
හැබැයි අර කොල්ලන්ගෙ භාෂාවෙන් කියනවා නම් මේක චොර වෙච්ච ආණ්ඩුවක්. කුණු වෙවී, කුණු වෙවී යනවා. නැවත නැවත මේ දූෂිත පාලකයන්, දේශපාලනඥයන් පත් කරන්නෙ ජනතාව. අපි දේශපාලනඥයන්ට බැනලා වැඩක් නෑ. ජනතාව ඉන්න තැනත් අපි හඳුනා ගත යුතුයි.

නිව්යෝර්ක් ටයිම්ස් ඇමෙරිකානු පුවත්පතෙන් කිව්වා චීන සමාගමකින් 2015 ජනාධිපතිවරණයට රාජපක්ෂලාට සල්ලි දුන්නලු. ඒක අල්ලසක්. මේ රටේ දේශපාලනඥයෝ අති බහුතරයක් කොයිතරම් හොරකමට සම්බන්ධයිද? ප්‍රධාන පකෂ දෙකේ කිහිප දෙනෙක් හැර හොරකමට දූෂණයට වරින් වර සම්බන්ධ වුණා. එය ප්‍රත්‍යක්ෂයි. ඒක මහින්දටත් එකයි. මෛත්‍රිටත් එකයි, රාජිතටත් එකයි. දැන් බලන්න ඥානසාර හාමුදුරුවෝ අධිකරණයෙන් එළියට එද්දි මල් දාලා පිළිගත්තෙ. කළයුත්ත ඒකද?

පුටුව තවම රත්වෙලා නැති නිසා රනිල්, මෛත්‍රි සනීපෙට වාඩිවෙලා ඉන්නවා. වාඩිවෙලා ඉන්න බැරි තැනට අපි පුටුව රත් කළ යුතයි.
ආණ්ඩුව දැන් තීරණයක් අරන් නීති හදලා කියනවා ඡ්ර්ථීජ් එක කොටස් වෙළෙඳපොළේ දාන්න. ආයෝජනය කරන එක හොඳයි.

අපේ සල්ලි ඒගොල්ලන්ගෙ බිස්නස්වලට යොදා ගන්න හදනවා කොටස් වෙළෙඳපොළේ දාලා. අමාරුවෙන් ඉතිරි කරගත්තුමේ අරමුදලටත් මුන් කෙළින්න යන්නේ. සමස්ත වෘත්තීය සමිති සියල්ලම සම්පූර්ණ විරුද්ධයි සේවක අර්ථසාධක අරමුදල අවදානම් කොටස් වෙළෙඳපොළේ යෙදවීමට.

ඒ වගේම මේ ආණ්ඩුව කරපු තව වැරැද්දක්, අසාධාරණයක් තමයි 2016 සිට රාජ්‍ය සේවයට ඇතුළු වෙන අයගෙ සිට විශ්‍රාම වැටුප අහිමි කළ එක. කරපු වැරැදි වහාම නිවැරැදි කරපල්ලා. රනිල් - මෛත්‍රි ඡන්ද මල්ල අඩු කරගන්න කරපු බරපතළ වැරැද්ද තමා රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප ඒ විදියට උල්ලංඝනය කිරීම.

ඔබලා හිතනවාද මේ පාලකයෝ කවදා හරි මේ රට හදයි කියලා. අදහසක් තියෙනවා නම් අවංකවම කියන්න පුළුවන්. හැබැයි එහෙම එකෙක් නෑ. හැබැයි අපිට අවංක වුවමනාවක් තියෙනවා. ඒක අපේ මිනිස්සු දන්නවා. ජේවීපී යට මේ රට පාලනය තනිව වෙනස් කරන්න බෑ. උගතුන්, බුද්ධිමතුන්, සිවිල් සංවිධාන මේ සියල්ල පෙළගැහෙන්නෙ ඕනෑ.ජනතාව වෙනස් නොකර රට හදන්න බෑ. දැන් උගත්තු, බුද්ධිමත්තුත් දේශපාලනයට එන්නේ නෑ. දේශපාලන කුණු වෙලා. අපි ඒ සියලු දෙනා පෙළගස්වන නව වැඩපිළිවෙළකට යා යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජාතිවාදයට එරෙහි උගතුන්, බුද්ධිමතුන් පෙළ ගස්වන ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon