දේශප්‍රේමීන්ගේ ආණ්ඩුවක් යටතේ දේශද්‍රෝහීන්ට මරණ දඬුවම දිය යුතුයි

  👤  3598 readers have read this article !
By mawbima 2018-06-29

බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීම ඇතුළු සියලුම දේශද්‍රෝහී ක්‍රියා කළ අයට එරෙහිව මරණ දඬුවම් ලබා දෙන ලෙස දේශප්‍රේමී ආණ්ඩුවක් යටතේ ඉල්ලා සිටිනවා යැයි ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ (28දා) රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. ජාතික සංවිධාන එකතුව එම මාධ්‍ය හමුව සංවිධාන කොට තිබිණි. එහිදී සරත් වීරසේකර මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

හමුදා බුද්ධි අංශයේ වේතන ලබාගත් ඔත්තුකරුවකු පාවාදීම නිසා උදයන් පත්තරය ඔහු ගැන අනාවරණය කොට තිබෙනවා. ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවෙන් එළියට ගියාම කොටි සංවිධානය ඔහු මරා දමාවි! මිලේනියම් සිටි බුද්ධි අංශය පාවා දීමට නොදෙවැනි පාවාදීමක් යළි සිදු කොට තිබෙනවා.

එවැනි ඔත්තුකරුවන්ගෙන් තමයි කොටියන්ගේ ඉදිරි සැලසුම් සොයා ගත්තේ. එවැනි අයගේ අනන්‍යතාව හෙළි කළාම එවැනි අය තවත් ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඒ නිසා වැදගත් බුද්ධි තොරතුරු ලැබෙන්නේ නැහැ. 2014 දී ගෝපි, තේවියන් සහ අප්පන් කියන කොටි සාමාජිකයන් තිදෙනකු ඝාතනය කෙරුණා. නමුත් අනිත් සාමාජිකයන්ගෙන් දෙහිවල පාලම පිපිරවීමේ සැලසුමක් ආදිය අනාවරණය වුණා.

යුද්ධය අවසන් වුවත් ඊළාම් සිහිනය ඔවුන් අතහැරලා නැහැ. ඒ නිසා බුද්ධි අංශය ශක්තිමත් කළා. යුද්ධය අවසන් වූ පසුව අවස්ථා 3කදීම කොටි මර්දනය කිරීමට ඒ නිසා හැකියාව ලැබුණා.

ඔඩ්ඩුසුඩාන්වලදී ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය සමඟ කොටි සැකකරුවන් හමුවුණා. ඒත් ආණ්ඩුව ඒක අනාවරණය කරනවා වෙනුවට ජාතික ආරක්ෂාව පරදුවට තබා ඊට රාජපක්ෂවරු සම්බන්ධද කියලා හොයනවා. මන්ද ඔත්තුකරුවන්ගේ අනන්‍යතාව හෙළි කරන්නෙත් ඒ නිසයි.

ආණ්ඩුව කොටි ත්‍රස්තවාදීන්ට හිස එසවීමට අවස්ථාව දෙන ගමන්ම ආරක්ෂක හමුදාව අධෛර්යට පත් කරනවා. සාම සාධක හමුදාවට මෙරට හමුදාව යැවීම නතර කර තිබෙනවා. දීපිකා උඩගම නමැති කාන්තාව තමයි මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන්නේ. ඇය රාජ්‍ය නොවන සංවිධාන සමඟ එකතු වෙලා කොටි වෙනුවෙන් කතා කරන කෙනෙක්. යුද්ධයට සම්බන්ධ වූ කිසිදු රණවිරුවෙක්වත් සාම සාධක හමුදාව බඳවා නොගැනීමට ඇය කටයුතු කරනවා.

උතුරට දේශපාලන විසඳුමක් දුන්නේ නැත්නම් තවත් ආයුධ හමුවන බව එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයා කියා තිබෙනවා. කොටි ත්‍රස්තවාදයේ දේශපාලන හස්තය තමයි දෙමළ සන්ධානය කියන්නේ. මේ සිදුවන දේවල සම්බන්ධතාව තමයි එවැනි ප්‍රකාශවලින් තහවුරු වෙන්නේ. මෙවැනි මන්ත්‍රිවරුන්ගේ ප්‍රකාශ ගැන ප්‍රශ්න කොට ඔවුන්ට විරුද්ධව කටයුතු කළ යුතුයි. කොටි ත්‍රස්තවාදීන්ට ජීවිත, දේපළ විනාශ කරමින් ලබා ගැනීමට නොහැකිවූ දේවල් ලබා ගන්නා සුමන්තිරන්ලා විසින් රජයට තර්ජන කරනවා.

ජාතික ආරක්ෂාවට දේශපාලනය සම්බන්ධ කර ගැනීම ඉතා නරකයි. ඒක ආණ්ඩුවේ වගකීමක් වුවත් වත්මන් ආණ්ඩුව ඒක පැහැර හැර තිබෙනවා. ජාතික ආරක්ෂාවේ අත්තිවාරම බුද්ධි අංශයයි. බුද්ධි අංශයේ කර්නල් ශම්මි මාස 4ක් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇප දුන්නත් කිසිම නඩුවක් නැහැ. ජිනීවා යෝජනාවලට සම අනුග්‍රහය දක්වලා බටහිර සහ දෙමළ ඩයස්පෝරා සතුටු කිරීමේ කාර්යයක් තමයි ආණ්ඩුව කරන්නේ.

ආණ්ඩුව වෙනස් වෙනකොට බුද්ධි අංශයේ නිලධාරීන් වෙනස් වෙලා නැහැ. මේ ආණ්ඩුව යටතේ තමයි එහෙම සිදු වෙලා තියෙන්නේ. හමුදාවේ අභ්‍යන්තර තනතුරුවලට මේ ආණ්ඩුව ඇඟිලි ගහනවා. ගෝඨාභය රාජපක්ෂ එක්ක සම්බන්ධද කියලයි ආණ්ඩුව හොයන්නේ.

කමල් ගුණරත්න මහතා,

ඔඩ්ඩුසුඩාන්වලදී අත්අඩංගුවට ගත් බඩු පිළිබඳ විශ්ලේෂණයක් කළොත් ඒවා ගෙනාවෙ ඇයිද කියලා අනාවරණය කරගත හැකියි.

මේවා ගෙනත් තිබෙන්නේ මිනී මැරීමටයි.

පොලිස් නිලධාරීන් මේවා අත්අඩංගුවට ගත්තත් ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට රජය කටයුතු කර නැහැ.

කර්නල් රත්නප්‍රිය බන්දුගෙන් ප්‍රකට වූ සංහිඳියාවේ සැබෑව එක දවසකින් ඇති වූ දෙයක් නොවෙයි. එදා සිටි ආරක්ෂක ලේකම්වරයා ඇති කළ පුනරුත්ථාපන වැඩපිළිවෙළේ ප්‍රතිඵලයි. එවැනි සංහිඳියාවක් ඇති කිරීම මිසක් ඒක කෙටි කාලීන දෙයක් නොවෙයි. එදා වේලට වැඩකට නැති පියවරවලින් සංහිඳියාව ඇති කරන්න බැහැ.
සංහිඳියාවට විරුද්ධ අයත් රජය හඳුනාගත යුතුයි. එම්.කේ. ශිවාජිලිංගම් වෛරය උතුරේ වපුරනවා.

සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජෙනරාල් අමල් කරුණාසේකර දැන් මාස 3කට වැඩිය බන්ධනාගාරගත කොට තිබෙනවා. බුද්ධි බළකායෙන් ප්‍රශ්න කරමින් ඔවුන් සිරගත කරනවා. බුද්ධි අංශයට කරන හිංසා නිසා එම අංශය අකර්මණ්‍ය වෙලා.

හමුදා බුද්ධි අංශයේ බි්‍රගේඩියර් කපිල හෙන්දාවිතාරණ දේශපාලන හේතු මත ඉවත් කර පොලිසියේ සිටි සිසිර මෙන්ඩිස් කියන නිලධාරියා පත්කර තිබෙනවා.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon