සමෘද්ධිය යළි හදන්න ගිහින් කෝටි 15ක් වතුරේ

  👤  4271 readers have read this article !
By mawbima 2018-06-24

හර්ෂනී අර්සකුලරත්න

ත සමෘද්ධිලාභී ලැයිස්තු යාවත්කාලීන කිරීමේ අරමුණින් රජය වැය කළ රුපියල් කෝටි 15කට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි වාර්තා වේ.

පසුගිය වර්ෂයේදී සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන, කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය ඇරැඹූ සමෘද්ධි ප්‍රතිශෝධන වැඩපිළිවෙළ සඳහා වැය කළ මුදල් මෙලෙස අපතේ ගොස් ඇත.

එවකට සමෘද්ධිය ලැබූ සමෘද්ධිලාභීන් සහ අලුතින් සමෘද්ධිය ලැබීම සඳහා සුදුසුකම් ලැබිය යුතු පිරිස් හඳුනා ගැනීම සඳහා ප්‍රශ්නාවලියක් උපයෝගි කරගනිමින් නව ප්‍රතිශෝධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූ අතර එම සමීක්ෂණය සඳහා පිටු 17කින් යුත් අයැදුම්පත් ලක්ෂ 35ක් පමණ මුද්‍රණය කර තිබේ.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් පන්කෝටි හත්ලක්ෂ පනස් දහසක් පමණ වන බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි. එසේම සමෘද්ධි නිලධාරීන් ගෙන් ගෙට ගොස් සම්පූර්ණ කළ සමීක්ෂණ අයැදුම්පත්‍රයක් සඳහා රුපියල් 20 බැගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තාවකාලිකව බඳවා ගත් පරිගණක දත්ත සැකසුම්කරුවන් වෙත රුපියල් හත් කෝටියකට ආසන්න මුදලක් ගෙවා ඇති බවද ඔවුන් පවසයි.

එසේම මේ සමීක්ෂණයේ අධීක්ෂණ කටයුතු සඳහා සෑම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් වෙත රුපියල් විසි දහස බැගින් නිලධාරීන් 375 දෙනකුට රුපියල් හැත්තෑපන් ලක්ෂයක මුදලක් ගෙවා ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

මෙවැනි වියදම් දරමින් සිදු කළ සමෘද්ධි ප්‍රතිශෝධන වැඩපිළිවෙළ අවසානයේ උද්ගත වූ දැඩි මතභේදාත්මක තත්ත්වය හමුවේ අතරමඟදී නතර විය.

ඊට පිළිතුරු වශයෙන් හිටපු සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක වරෙක පැවැසුවේ එම අයැදුම්පත් පිරවීමේදී සමෘද්ධි නිලධාරීන් අතින් සිදු වූ අඩු ලුහුඬුකම් මත ගැටලු පැනනැඟුණු බවය.

මීට සමෘද්ධි නිලධාරීන් ප්‍රතිචාර දැක්වීමත් සමඟ අවසානයේ හිටපු ඇමැතිවරයා පැවැසුවේ පරිගණක දත්ත ක්‍රියාකරුවන් අතින් පරිගණකයට දත්ත ඇතුළත් කිරීමේදී සිදු වූ වැරැදි අඩු පාඩු හේතුවෙන් ගැටලු උද්ගත වූ බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon