පොලිසිය ජීවිත පූජාවක් කර ‘කොස්ගොඩ තාරක’ අල්ලපු හැටි

  👤  4858 readers have read this article !
By mawbima 2018-06-24

මාතර අනගාරික ධර්මපාල මාවතේ පිහිටි නිලේකා ජුවලරි ආයතනයට ආයුධ සන්නද්ධව යතුරුපැදි වලින් පැමිණි අපරාධකරුවන් දසදෙනකු බලාසිටින්නන්ගේ හදවත්වලට භීෂණයේ තිගැස්ම මවමිනි. අනතුරුව ඔවුහු ස්වර්ණාභරණ ආයතනයේ සේවය කළ සේවක සේවිකාවන් ප්‍රාණ ඇපයට තබාගත්හ.

නිමේෂයකින් ඔවුහු ස්වර්ණාභාරණ ආයතනයේ ඇති ස්වර්ණාභරණ සහ මුදල් කොල්ලකෑහ.

කොල්ලකරුවන්ගේ මෙම සැලසුම ව්‍යර්ථ කරමින් මාතර පොලිසියේ පොලිස් කණ්ඩායමක් ස්වර්ණාභරණ ආයතනය තුළට කඩාවැදුනේ ත්‍රාසජනක චිත්‍රපට ජවනිකාවක අවස්ථාවක ලෙසය.

මේ මොහොතේ පොලිස් නිල ඇඳුම දුටු පමණින් ආයුධ සන්නද්ධ කොල්ලකල්ලිය පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ තමන් මුහුණ දී සිටින තත්ත්වයෙන් ගැලවීම පිණිසය.

එහෙත් ගැලවීමක් නැත. පොලිස් නිලධාරීහුද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළහ.

යුද පිටියක් බවට පත්වූ ස්වර්ණාභරණ අලෙවිසලෙන් කොල්ලකරුවන් පැනගියේ පොලිස් නිලධාරීන්ට වෙඩි තබමින් තම ජීවිතය ගැන පවා නොතකමිනි.

මෙසේ යතුරුපැදියකින් පලායෑමට උත්සාහ කළ එක් කොල්ලකරුවකු පොලිස් ජීප් රථයේ වැදී යතුරුපැදියෙන් බිමට පෙරළුණි.

සෙසු කොල්ලකරුවෝ තිදෙනා එම ස්ථානයෙන් පලා ගියහ.

පෙර කී පරිදි ත්‍රාසජනක චිත්‍රපටයක ස්වරූපයක් ගත් මෙම ජවනිකාව සිදුවූයේ ඉකුත් සිකුරාදාය (22දා). පෙරවරු 10.00ට පමණ මෙම සිද්ධිය සැලවිණි.

වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු තුවාල ලැබීය. වීරෝදාර ලෙස නොබියව ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර තුවාල ලැබූ මෙම පොලිස් නිලධාරීන් තිදෙනා මාතර රෝහලට ඇතුළත් කරනු ලැබුවේය.

එසේම මෙම අවස්ථාවේදී එම ස්ථානයේ රැඳීසිටි පුද්ගලයකු සහ කාන්තාවක්ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබිණි.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තත්ත්වයේ පසුවූ 33 හැවිරිදි පොලිස් කොස්තාපල් වීරසිංහගෙදර සුරංග ප්‍රදීප් (69532) මහතා මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය. ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පුහුණුවීම් අවසන් කළ පොලිස් නිලධාරියෙකි.

කොල්ලකරුවන් පැමිණි යතුරුපැදි දෙකක් සහ මිනි උෟෂි වර්ගයේ ස්වයංක්‍රිය වර්ගයේ ගිනි අවියක්, මිලිමීටර් 9 වර්ගයේ පතරොම් 18ක් සහිත මැගසින් එකක් සහ පිස්තෝල මැගසිනයක් සිද්ධිය සිදුවූ ස්ථානයේ තිබී සොයා ගැනීමට පොලිසිය සමත් විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ වූ අතර වෙඩි තැබීම සිදුවී පැය කීපයකට පසු පොලිසියට රහසිගත තොරතුරක් ලැබිණි.

ඒ අසත්‍ය තොරතුරු පවසා රෝගීන් තිදෙනකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් වී ඇති බවය.

වහාම ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් ගාල්ල කරාපිටිය රෝහලට පිටත්ව ගියේ එම තිදෙනා කවුරුන්ද යන්න සොයා බැලීමටය.

එහිදී අනාවරණය වූයේ දකුණේ ප්‍රබල පාතාල නායකයකු වන 'කොස්ගොඩ තාරක' ප්‍රතිකාර ලබා ගැනීමට එම රෝහලට ඇතුළත් වී ඇති බවටය.

එසේම ඔහුගේ සහෝදරයා වන 'මධුක"ද රෝහල් ගතව සිටින බව පොලිස් නිලධාරීහු දැනගත්හ. කොස්ගොඩ තාරකගේ තවත් ගෝලයකු ඔවුන් සමඟ ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව මෙහිදී අනාවරණය විය.

මාතර ස්වර්ණාභරණ ආයතනයේ කොල්ලයට පැමිණියේ කොස්ගොඩ තාරක බවට මේ අනුව පොලිස් නිලධාරීහු අනාවරණය කර ගත්හ.

පොලිස් ප්‍රතිප්‍රහාරවලින් තාරක සහ ඔහුගේ සගයන් තිදෙනාද වෙඩි ප්‍රහාරවලින් තුවාල ලබා තිබිණි.

රෝහල් බලධාරීන්ට අසත්‍ය තොරතුරු ලබාදී ඔවුන් තිදෙනා මෙලෙස එම රෝහලට ඇතුළත් වී තිබිණි. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කොස්ගොඩ තාරක ඇතුළු ප්‍රතිකාර ලබමින් සිටි එම තිදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක, ඔහුගේ සහෝදරයා වන ධර්මකීර්ති මදුක නිර්මාල් පෙරේරා විජේසේකර සහ ඉරන්දෙණිය අතුල කිත්සිරි කුමාර යන අයයි.

මදුක සහ අතුල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

ධර්මකීර්ති තාරක (32) නොහොත් කොස්ගොඩ තාරකගේ ගම වන්නේ කොස්ගොඩ, කුරුලුගම් පියසය.

දකුණේ තවත් ප්‍රකට පාතාල නායකයකු වන එස්.ටී.එෆ්. නදුන්ද තාරකගේ ඥාතිවරයෙකි.

එකම කල්ලියක් ලෙස දකුණේ පාතාලය හැසිර වූ තාරක සහ නදුන් පසුව විරසක විය. එස්.ටී.එෆ්. නදුන් මේ වන විට ඉතාලියේය. වර්තමානය වන විට කොස්ගොඩ තාරකගේ ප්‍රතිවාදියා වන්නේ නදුන්ටත් වඩා කොස්ගොඩ සුජීය.

මීට වසර කිහිපයකට ඉහතදී කොස්ගොඩ සුජී සහ කොස්ගොඩ තාරකද එක වල්ලේ පොල් ලෙස සමීපව ආශ්‍රය කළවුන්ය.

කොස්ගොඩ සුජීද පසුව ඩුබායි රාජ්‍යයට පලා ගියේය. ඒ ඩුබායිහි වෙසෙන මාකඳුරේ මධුෂ්ගේ උපකාර ලබාගෙනය.

පසුව තාරක විසින් සුජීගේ කල්ලියේ සාමාජිකයන්ට තර්ජන එල්ල කරමින් ඔහු වෙනම පාතාල කල්ලියක් තනා ගත්තේය.

කොස්ගොඩ සුජී, තාරක සමඟ වෛරය ඇති කර ගත්තේ මෙම බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙසටය.

දකුණේ පාතාල නායකයන් බොහෝ දෙනෙක් පසුගිය කාල සීමාවේ විදේශ රටවලට පලා ගියහ.

එහිදී වාසිය ගැනීමට සිතූ කොස්ගොඩ තාරක කොස්ගොඩ සුජීට අභියෝග කරමින් ඔහුගේ ඥාතිවරයකු ඝාතනය කිරීමට සැලසුමක් සකස් කළේය.

එම සැලසුමේ ප්‍රතිඵලයක් ලෙසට දකුණු පළාතම හොල්ලමින් ඉකුත් වසරේ ඔක්තෝබර් 29 වැනි දින කොස්ගොඩ, යුදපිටිය ප්‍රදේශයෙන් වෙඩි පත්තු විණි.

එදින අලුයම් කාලයේ කොස්ගොඩ තාරක සිය සගයන් සමඟ බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එ.ජා.ප. මන්ත්‍රි මහින්දරාජා සොයිසාගේ නිවෙසට කඩා වැදිණි.

කොස්ගොඩ තාරක එම නිවැසියන්ට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් මහින්දරාජා සොයිසා සහ ඔහුගේ 21 සහ 13 හැවිරිදි දරුවන් දෙදෙනාද ඝාතනය විය.

ඉන් නොනැවතුණු තාරක ඊට යාබදව ඇති මැණික් ගම්මානයට කඩා වැදී එහි සිටි මහින්දරාජාගේ හිතවතකු මරා දැමුවේය.

තමාගේ ඥාතිවරයකු මරා දැමීමේ පුවත කොස්ගොඩ සුජීට පසුව ආරංචි විය.

ඒත් සමඟම කොස්ගොඩ සුජී හා කොස්ගොඩ තාරක අතර ද්වන්ධ සටන යළි ආරම්භ විය.

එම සටනේ ප්‍රතිඵලයක් ලෙසට ඉකුත් වසරේ ඔක්තෝබර් 31 වැනි දින කොස්ගොඩ සුජී විසින් තාරකගේ ඥාතිවරයකු ඝාතනය කිරීමට උත්සාහ දැරුවේය.

ඒ බටපොළ, ඊරියගහ‍ෙදාළ ප්‍රදේශයේදීය. නමුත් තාරකගේ ඥාතිවරයා සහ ඔහුගේ දරුවන් එදින දිවි බේරා ගත්හ.

 

ඔවුන් ගමන් ගත් මෝටර් රථයට මෙලෙස සුජීගේ ගෝලයන් විසින් වෙඩි වරුසාවක් තැබුවේය.

මෙම ගැටුම උත්සන්න වීමත් සමඟ දකුණු පළාතේ ආරක්ෂාවට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට ආරක්ෂක අංශවලට සිදු විණි.
ඉකුත් වසරේ පිළියන්දල අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට පැමිණ එහි සිටි ආරක්‍ෂක නිලධාරියකුට වෙඩි තබා ඝාතනය කළේ තාරක විසිනි.

එසේම තාරක අලුත්ගම, තංගල්ල, පානදුර යන ප්‍රදේශවල බැංකු කිහිපයක්ද කොල්ල කෑවේය.

මීට වසර තුනකට පමණ ඉහතදී මහරගම ප්‍රදේශයේ සිදුවූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් එවක ඔහුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එමෙන්ම තාරකගේ පවුලේ උදවියට දේශපාලන රැකවරණද තිබෙන බව ද පාතාල මර්දන ඒකකය මීට පෙර සඳහන් කර තිබිණි.

මෙවර පැවැත්වූ පළාත් පාලන මැතිවරණයට ප්‍රධාන පක්‍ෂයක අපේක්‍ෂකයකු ලෙස තාරකගේ මව ඉදිරිපත් වූ බව ද මාධ්‍ය වාර්තා කළේය.

මෙම කොල්ලය සඳහා යොදා ගත් එක් යතුරුපැදියක් අයිති වූයේ තාරකගේ මවටය. ඇය එම යතුරුපැදියේ ලියාපදිංචි හිමිකාරිනිය වූ බැවින් කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගනු ලැබීය.

කොස්ගොඩ, නානතොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ජානකී ප්‍රියන්ත සොයිසා වන ඇයගේ නිවෙසේ තිබී මෙරට නිෂ්පාදිත මිලි මීටර් 09 පතරොම් භාවිත කරන ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට පොලිසිය සමත් විය.

එසේම මාතර කොල්ලයට පැමිණි තාරකගේ සමීපතමයකු වූ චාමර ඉන්ද්‍රජිත් යන අය ද පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඒ වසරේ අප්‍රේල් 21 වැනි දින නිට්ටඹුව, අත්තනගල්ලේදී පැවැති සංගීත සන්දර්ශනයක් අතරතුර ව්‍යාපාරිකයකු වූ මීගම ආරච්චිගේ රත්න දේවප්‍රිය යන අය වෙඩි තබා ඝාතනය කෙරුවේ මෙම සැකකරු විසින් බවද හෙළි වී තිබේ. එදින සිදු වූ වෙඩි පහරින් ගැබිනි කාන්තාවක් ඇතුළු සිවු දෙනකු තුවාල ලැබීය.

දකුණේ සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් තාරකගෙන් ඉදිරියේදී පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත. එවිට පාතාලයේ තවත් අබිරහස් කතා රැසක් අනාවරණය වනු ඇත.

මෙම සිද්ධියෙන් දිවිපිදූ පොලිස් කොස්තාපල් වීරසිංහ ගෙදර සුරංග ප්‍රදීප් වීරසිංහ නිලධාරියා පොලිස් සැරයන් ධුරයට උසස් කිරීමටද ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළේය.

චාමර අමරසූරිය

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon