මහින්ද මහත්තයා නම් කරන කෙනෙකුට උදවු කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා-ශ්‍රී ලනිපයේ ජේ‍යෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා

  👤  4807 readers have read this article !
By mawbima 2018-06-24

ඔබ කිව්වා ශ්‍රී ල.නි.ප.යේ කිසිම සම්මේලනයකට මින් පසු සභභාගි නොවන බව. මේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ තීරණාත්මක ලෙස තමන්ගේ පක්‍ෂයෙන් දික්කසාද වී අවසන් කියලද?

ඇත්ත වශයෙන්ම මම එයින් අදහස් කළේ ඔබ කියන අදහසම නෙවේ. ශ්‍රී ල.නි.ප.යේ මම අවුරුදු 35ක් වැඩ කළා. ශ්‍රී ල.නි.ප.ය කියන්නේ අපිට අපේ මහගෙදර. ඒ පක්‍ෂයත් එක්ක ජීවත් වුණා. අපේ තරුණ කාලේ ගෙවුණෙ අපේ පක්‍ෂයත් එක්ක. සියලු කැපකිරීම් අපි කළේ පක්‍ෂය වෙනුවෙන්. මම මේ පක්‍ෂයට ඇතුළු වෙද්දී අවුරුදු 19යි. මේ දක්වා මා පක්‍ෂයේ සාමාජිකයෙක්, පක්‍ෂයේ තරුණ සංවිධානයේ සාමාජිකයෙක්. නීති විද්‍යාලයේ, ශිෂ්‍ය සාමාජිකයෙක්, ආසන සංවිධායකවරයෙක්, ප්‍රාදේශීය සහ පළාත් සභා මන්ත්‍රිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් සහ ඇමැතිවරයෙක් ලෙස මා දිගටම හිටියේ මෙතැන. අපි පක්‍ෂය දිහා බලන්නේ මහජනයාගේ පැත්තෙන්. පක්‍ෂය අයිති මහජනයාට. එතකොට ඒ පක්‍ෂය මහජනයාට ළං වුණේ නැත්නම් එසේ මහජනයාට ළං වන විදියට වැඩ කරන්නේ නැත්නම් එවැනි අවස්ථාවක අපිට ඇතිවන හිත් අමාරුව තමයි මා ප්‍රකාශ කළේ.

ඔබ පක්‍ෂයට විරුද්ධව සෘජු ප්‍රකාශයක් කළ පළමු වැනි වතාව නේද මේ?

ඔව්. පක්‍ෂය පිළිබඳව සමහර කාරණාවලදී මෑතකදී සෑහෙන අවස්ථා තිබුණා යම් යම් මතවාදයන් දරන්න. මම පක්‍ෂයට යෝජනා කරලා තියෙනවා, පක්‍ෂය ඉදිරියට පවතින්නට ඕනේ නම් පක්‍ෂය ලෙස එක්සත් ජාතික පක්‍ෂය සමඟ තියෙන ආණ්ඩුවෙන් ඉවත් වෙලා යා යුතුයි කියලා.

ඔබ කතා කරන්නේ ශ්‍රී ල.නි.ප.ය ගැන දැඩි කලකිරීමකින් වගේ?

කලකිරීම කියන දේ නම් මට ඇති වන දෙයක් නෙවේ. මම කිව්වේ යථාර්ථය. පක්‍ෂය මහජනයා ළඟට යන්න නම් ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි. ඒ සඳහා ඇත්තටම දැඩි ලෙස විරෝධය පළකරනවා. අපේ පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා, පොදුජන නිදහස් පෙරමුණේ ලේකම්වරයා, ඒ අය ඇතුළු කණ්ඩායමක් මේකට දැඩි ලෙස විරුද්ධ වෙනවා. ඒක තමයි මම කියන්න උත්සාහ කළේ. පක්‍ෂය දිහා අපි බලන්න ඕනෙ පෞද්ගලික ප්‍රශ්න සමඟ නොවේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් ඔබේ පක්‍ෂ මහ ලේකම් ධුරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉවත් කළ නිසා ඔහුගෙන් කරන පළිගැනීමක්ද මේ?

නෑ. නෑ. මම මොකටද එහෙම පෞද්ගලික අමනාප හෝ පළිගැනීම් ඇති කර ගන්නේ? දේශපාලනයේ මට පෞද්ගලික පළිගැනීමක් කා එක්කවත් නෑ. හිටපු ජනාධිපතිතුමා එක්ක හෝ හිටපු ජනාධිපතිතුමිය එක්ක හෝ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක එහෙම නෑ මම. එවැනි පෞද්ගලික අමනාපකම් ඇති කරගන්න කෙනෙක් නෙවේ. අඩුම තරමේ මේ අවස්ථාවෙත් මම එවැනි තනතුරක් බලාපොරොත්තු වුණේ නෑ. මම ඒක මගේ සමීපතමයන්ටත් කිව්වා අන්තිම අවස්ථාවේදීත්. ප්‍රශ්නේ ඒක නෙවේ. පක්‍ෂයේ ඉදිරි ගමන ඉදිරි අනාගතයට හානියක් වෙනවා නම් මහජනයා පසුගිය මැතිවරණයේදී ලබාදුන් අදහස අනුව නම් ඕනෑ කෙනෙක් අතින් වැරැදි වෙනවා. වැරැදි තීන්දු ගන්න පුළුවන්. හැබැයි අවසානයේ මහජනයා අපට යමක් කියපුවාම ඒ කියන දේ පිළිබඳව අපේ හිතේ ධාරණයක් ඇති කරගත යුතුයි කියලා මම අදහස් කරනවා.

පසුගියදා සිදුවූ පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතුත් ඔබ කියන විදියට සාධාරණව සිදු වුණේ නැද්ද?

පක්‍ෂයක ප්‍රතිසංවිධාන කටයුතු ඇති කළ යුතුයි පක්‍ෂය නිවැරැදි ස්ථාවරයක සිට ගත්තට පස්සේ.

ඒ කියන්නේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු වුණේ සුදුසු කාලය තුළ නෙවෙයි?

මම කියූ ඒ සුදුසු නොවන කාලය තුළ ප්‍රතිසංවිධාන කටයුතු සිදු වුණොත් ඒක අසාර්ථක වෙනවා.

ඔබ කියන්නේ ඒ ප්‍රතිසංවිධාන කටයුතු තුළ යම් අසාර්ථකත්වයක් තියෙනවා කියලද?

මම කියන්නේ නෑ අසාර්ථකත්වයක් තියෙනවා කියලා. ඒ ගැන මම දන්නේ නෑනේ. නමුත් ඒක කරන්න වෙලාව නෙවෙයි මේ වෙලාව.

බැසිල් රාජපක්‍ෂ මහතා නිශ්චිතවම කිව්වා දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න අය තමයි ඉක්මනින් විනාශ කළ යුත්තේ කියලා?

ඒක අපිට අදාළ කටයුත්තක් නෙමේනේ. ඒක අපි භාර ගන්න ඕනේ නෑ. අපි ඒ ගැන ඒ තරම් සැලෙන්නේ නෑ. දේශපාලනයෙදී විවිධ අය විවිධ දේවල් කියනවා. ඒ ගැන අපි උරණ වෙලා දඟලන්න ඕනේ නෑ. අපි ප්‍රතිපත්තියක් හැටියට ප්‍රශ්නයක් දිහා බලන අය මිසක් පෞද්ගලිකව ප්‍රශ්න දිහා බලන අය නෙවේ.

ඔවුන් කියන විදියට ඒ විදියට ආණ්ඩුවේ එක කකුලකුයි, විපක්‍ෂයේ තව කකුලකුයි තියාගෙන ඉන්න අය අතරින් ඔබත් එක් පුද්ගලයෙක්ද?

මම දන්නේ නෑ මම කොහෙද ඉන්නේ කියලා. මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයෙක්. පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රිවරු ශ්‍රී ල.නි.ප.යේ දෙපැත්තෙම ඉන්න අය. ශ්‍රී ල.නි.ප.යේ සාමාජිකයෝ. ඒ සියලු දෙනාම සන්ධානයේ නාම යෝජනා ගත්ත අය. ඒ නිසා අපි කවුරුත් ඉන්නේ එකට. ඒක වෙනස් වෙන්නේ නෑ. හැබැයි අපි අතර මතවාද දෙකක් තියෙනවා. කොටසක් රජය සමඟ ඉන්නවා. කොටසක් රජය සමඟ ඉන්නේ නෑ කියලා අපි කටයුතු කරන්නේ. මෙතැනදී රජය සමඟ නොඉන්න කොටස ඒ කියන්නේ මහින්ද මහතා සමඟ ඉන්න කොටස විශාල දේශපාලන ජයග්‍රහණයක් ලබා ගත්තු අය.

තිබෙන ලෝකුම චෝදනාව තමයි ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායමෙත් කොටසක් ආණ්ඩුවේ කකුලයි, විපක්‍ෂයේ කකුලයි තියාගෙන ඉන්නවා කියන එක. එසේ සිටිනවා නම් මේ ඔබලා කරන්නෙත් දේශපාලනික රංගනයක් නේද?

මම හිතන්නේ නෑ කවුරුත් එහෙම ඉන්නවා කියලා. සියලු දෙනාම එකම අදහසකට ඇවිල්ලා තියෙනවා. විවිධ සාකච්ඡා පවත්වන කොට විවිධ අදහස් දරනවා. ඒ දරන අදහස් සියල්ලම අනුව එකිනෙකා මේ අදහස් දරනවා කියලා අපිට කියන්න බෑනේ. ඔය 16 කණ්ඩායම කියන කතාවත් හැදුණේ අපි ආණ්ඩුවෙන් ඉවත් වෙලා ආපු නිසානේ. ප්‍රධාන ප්‍රවාහය එක්ක සම්බන්ධ වුණාම ඒ 16 අවශ්‍ය නෑ.

ඔබ ඇතුළු 16 කණ්ඩායමට එල්ල වූ ප්‍රබල චෝදනා එක්ක නේද පළමු වරට මාතලේදී ඊට ප්‍රති ප්‍රහාරයක් එල්ල කළෙත්?

මම ඒකට තර්කයක් ගෙනාවා අපි කිසිම අවස්ථාවක අපේ කඳවුරේ අයත් සමඟ සටන් නොකළ යුතුයි. අපි අතර යම් යම් මත ගැටුමක් වුණත් ඒ මත ගැටුමට බුද්ධිමත් ලෙස ක්‍රියා කළ යුතු කියන අදහසේ තමයි මම දිගටම ක්‍රියා කළේ. කෙසේ වුණත් ඒ සිද්ධිය සිදු වුණා. එය දැන් අවසන්. ඒක ආපසු සිදු නොවිය යුතුයි කියලයි මගේ අදහස.

ඔබලා ඒකාබද්ධ විපක්‍ෂය අවුල් කිරීමට එවන ලද පිල්ලියක් හැටියටයි සමහරු හඳුන්වන්නේ?

මම හිතන්නේ නෑ ඒක එහෙම වෙයි කියලා. අපි කාටවත් වුවමනා කරන්නේ නෑ ඒ ගොල්ලන්ගේ කාගෙවත් තියෙන සමඟිය කඩන්න. අපි ඒකාබද්ධ කණ්ඩායමේ ඉන්න කිසිකෙනකුට හානියක් කිසි කෙනකුට අනර්ථයක්, කිසි කෙනකුගේ තැනක් ගන්න අපිට වුවමනා නෑ. ඒ වගේම ඒ අය අතරේ තියෙන සමඟිය කඩන්නවත් අපි කාටවත් පුළුවන් කමක් නෑ.

ඒකාබද්ධ විපක්‍ෂය ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාර එල්ල කරන මොහොතක ඔබලා විපක්‍ෂයේ අසුන් ගන්නවා. එවැනි තත්ත්වයකත් ඇයි ඔබලා මේ තරම් චෝදනාවට ලක් වෙන්නේ?

දේශපාලනේ හැටි එහෙම තමයි. ඒ ගැන ඒ තරම් කලබල විය යුතු නෑ. දේශපාලනයේ කලබල වෙන මිනිහා හැම වෙලාවෙම ප්‍රශ්න ඇති කර ගන්නවා.

ඔබ කලබල විය යුතු නෑ කියනවා. නමුත් සියලු දේ පරදවමින් අද දේශපාලන පිටියේ ලොකුම මතවාදී ගැටුම ඒකාබද්ධ විපක්‍ෂයයි 16 කණ්ඩායමයි බවට පත්වෙලා?

ජනමාධ්‍ය නිසා. අපි නිසා නෙවෙයි එවැනි තත්ත්වයක් ගොඩනැඟිලා තියෙන්නේ.

ශ්‍රී ල.නි.ප.යේ ඉහළම තැනක හිටපු අනුර ප්‍රියදර්ශන යාපා නිකම්ම මන්ත්‍රිවරයෙක් බවට පත් වුණා. මේ ඔබේ දේශපාලනයේ අවගමනයක් නේද?

දේශපාලනයේ හැටි එහෙම තමයි. දේශපාලනයෙන් ඉහළට යනවා. පහළට යනවා. අපේ පක්‍ෂයේ විවිධ කාලවල ඇති වුණු තරගවලදී විශාල පිරිසකට වෙච්චි හානි මම දැකලා තියෙනවා.

ඒ වගේම ඒවට මුහුණු දීගත නොහැකිව දේශපාලන ජීවිතයේ කඩාවැටීම් මම දැකලා තියෙනවා. ඒ ගැන මම කම්පා වෙන්නේ නෑ. මට ඇත්තටම තනතුරක් සඳහා හෝ වෙන ලොකු තැනකට හෝ සටන් කරන්නට වුවමනාවක් නෑ. මගේ හෘද සාක්‍ෂියක් තියෙනවා. මම දකින අදහසක් තියෙනවා. මම අයිති කඳවුරක් තිබෙනවා. ඒ කඳවුර ඇතුළේ මට මොනවද ලැබෙන්නේ කියන එක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ කඳවුර ශක්තිමත් කිරීම සඳහා අපෙන් සුළු හෝ දායකත්වයක් ලබාදිය හැකි නම් එයයි කළ යුතු වන්නේ.

මාධ්‍යයට විශාල ප්‍රචාරයක් දෙමින් ආණ්ඩුවෙන් ඉවත් වුණත් අද වනතුරු දැනෙන මට්ටමේ කිසිම ප්‍රතිඵලයක් නෑ නේද?

මම කලින් කිව්වා වගේ දේශපාලනය කියන්නේ ඉතා ඉක්මනින් වෙනස් වෙන දෙයක්. ඒ වෙනස් වෙන දේශපාලන අදහස ඇතුළේ අපි අලුත්ම සාමාජිකයෝ අලුත් කණ්ඩායමක් දරන දේශපාලන මතය හා කඳවුරක් ලෙස අපි සියලුදෙනා සමඟියත් ප්‍රාර්ථනා කළා. ඒක වරදක් නෙවෙයි. එවැනි සමඟියක් ප්‍රාර්ථනා කරන අතරතුර තව අතුරු ගැටුම් රාශියක් නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි අපි කල්පනා කරනවා එවැනි කඳවුරු තුළ සමඟියක් ඇති කිරීම කඳවුරට තවත් ඇතුළු වෙන්න බලාපොරොත්තු විවිධ දේශපාලන පක්‍ෂවලට ඒ නිදහස විවර කරන්න ඕනෑ. එහෙමයි සන්ධානයක් නිර්මාණය කරගත හැක්කේ.

ඔබ කියපු සමඟිය අවම තරමින් ඔබ ඇතුළු 16 කණ්ඩායම අතරවත් රැක ගන්න බැරි වෙලා තියෙනවා නේද?

නෑ. අපි අතර සමඟිය තියෙනවා. එහෙම ගැටුමක් නෑ. අපි අතර දැවැන්ත උණුසුම් සංවාද අභ්‍යන්තරව ඇති වෙනවා. ඒක ඔබලා දන්නේ නෑනේ. නමුත් අවසානේ සියලුදෙනාම එකම තැනට එනවා.

ශ්‍රී ල.නි.ප.ය මේ වෙද්දී ජනපති අපේක්‍ෂක ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කරනවා. ඔබේ සහාය කාටද? ඔබ සුදුසු යැයියෝජනා කරන්නේ කවුද?

අපි දැන් ඒ ගැන සාකච්ඡා කළ යුතු කාලය නෙවෙයිනේ. කවුරු හරි දේශපාලන වශයෙන් ඊළඟ ජනාධිපතිවරණයට පත් වෙනවා නම් පළමු කාරණාව තමයි අද රටේ ආර්ථික තත්ත්වය. අද රටේ ආර්ථිකය ගත්තොත් ඉතාමත්ම නරක තැනක තියෙන්නේ. එතකොට ඡන්දයක් කරනවා කියන්නේ දිනන්න ඕනෑ. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන වඩාම සුදුසු පුද්ගලයා කවුද කියන එක තීන්දු කරනකොට මම තවම ඉන්නේ (කල්පනා කරමින්) එකම අදහසක් නැතිව.

දෙගිඩියාවකින් වගේද?

නෑ. දෙගිඩියාවක් නෑ. අදහසක් නෑ. කවුරු හරි පුද්ගලයෙක් ඉදිරිපත් වෙයි. ඒ ඉදිරිපත් වන පුද්ගලයාට පුළුවන් වෙන්න ඕනෑ ජයග්‍රහණය කරන්න.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට සුදුසුද නැද්ද කියන එක ගැනවත් ඔබට යම් අදහසක් තියෙනවාද?

මට ඒ ගැන කියන්න අමාරුයි.

මන්ත්‍රි කුමාර වෙල්ගම පැවැසුවා ඒකාබද්ධ විපක්‍ෂයට එනවා නම් පසුපසින් අසුන්ගත යුතුයි කියලා? දැන් අසුන්වල අර්බුදයකුත් ඇවිත්ද?

නෑ. අපිට සීට්වල ප්‍රශ්නයක් නෑ. කවුරුත් ප්‍රශ්න කෙරුවෙත් නෑ. ඉස්සරහා සීට්වල පාර්ලිමේන්තුවේ අපිව වාඩි කරවන්නේ ජේ‍යෂ්ඨත්වය අනුවනේ. ඒක කාටවත් නවත්වන්න බෑ. අනිත් තැන්වල කොහෙ වාඩි වුණත් අපිට මොකෝ?

වෙල්ගම මන්ත්‍රිවරයාගේ එවැනි ප්‍රකාශයක් ඔබ දකින්නේ කොහොමද?

ඒක ඉතින් නොපැසුණුකම, නොපැසුණුකම.

ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම ඉන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ඊළඟ විධායක අගමැති කළ යුතුයි කියන මතයේ. ඔබ ඉන්නේ කොතැනකද?

එතුමා විධායක අගමැති ලෙස දකින්න අපි කැමැතියි. ඒකට ප්‍රධානම කරුණනේ ජනාධිපතිවරයායි එතුමයි එකඟතාවයකට පැමිණීම. අපි ඕක කිව්වට වැඩක් නෑනේ. එවැනි එකඟතාවක් ඇති වෙනවා නම් හොඳයි. ඒකේ කිසි වරදක් නෑ.

නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා විධායක අගමැති වෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අනුව නේද පත් කළ හැක්කේ?

ලංකාවේ දැනට තියෙන ව්‍යවස්ථා නීතිය තමයි දෙවරක් ජනාධිපති ධුරය දරන පුද්ගලයකුට තුන්වැනි වාරයට ඉදිරිපත් වෙන්න බෑ කියලා. නමුත් අගමැති වෙන්න බෑ කියලා කොහෙවත් සඳහන් නෑ. එතුමා හිටපු ජනාධිපතිවරයෙක් පමණයි. ඒ නිසා එවැනි ප්‍රශ්නයක් එතුමාට පැනනඟින්නේ නෑ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට ආණ්ඩුවේ නායකයා විය හැකි අවස්ථාව තියෙනවා?

නෑ. ලංකාවේ විධායක ජනපති ක්‍රමය ඉවත් කිරීමට දැන්ම කාලය ඇවිත් නෑ. විධායක ජනපති ක්‍රමය නිර්මාණය වුණේ ලංකාවේ පාර්ලිමේන්තුව කිසිවක්කරගත නොහැකිවූ වුවාට පස්සේ. ලංකාවේ පාර්ලිමේන්තුව 5/6ක් ගත්තත් ඒ පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් නායකත්වයක් දෙන්න පුළුවන්කමක් පාර්ලිමේන්තුවට තිබුණේ නෑ. ඒ නිසා තමයි මේ විධායක ක්‍රමය නිර්මාණය වුණේ. එය නිර්මාණය වූවාට පසු 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ව්‍යවස්ථාවෙන් හැදුණා පළාත් සභා. පළාත් සභාවන්හි ස්ථාවර නායකත්වය ලබා දෙන්නේ ජනාධිපතිවරයා හරහා ආණ්ඩුකාරවරයාට. ආණ්ඩුකාරවරයාට විශාල බලතල තියෙනවා. එවැනි අවස්ථාවක විධායක ජනපති ක්‍රමය නැති කළොත් අර පළාත් 9ම හරියට අර කුඩේ නණ ගැලෙව්වා වගේ. එවැනි අවස්ථාවක පළාත් සභාව හා පාර්ලිමේන්තුව හුදෙකලා වෙනවා. එවැනි අවස්ථා අපේ රටට සුදුසු නෑ. ජාතිවාදී ප්‍රශ්න පැනනඟින්න පුළුවන්. ඔය මොනවා කතා කළත් විධායක අගමැතිවරයෙක් යටතේ ජනපති හුදෙකලා පුද්ගලයෙක් බවට පත් වුණොත් ඒ ජනාධිපතිවරයා අල්ලන්න බැරි දත් නැති කටක් වගේ.

අගමැති මහින්ද රාජපක්‍ෂ ලෙස සුදුසු යැයි ඔබ කියනවා නම් ජනපති ලෙස සුදුසු යැයි හැඟෙන පුද්ගලයකුත් ඇති ඔබලා අතර?

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශීර්වාදය තියෙන කෙනෙක් තමයි ඒක තීන්දු කරන්නේ. එවැනි අවස්ථාවක විතරයි ජයග්‍රහණයක සේයාවක්වත් දකින්න පුළුවන් වෙන්නේ.

ඔබ කොහොමද එවැනි තක්සේරුවකට ආවේ?

ඡන්ද පදනම බැලුවත් ඡන්ද දායකයාගේ හැසිරීම අතින් බැලුවත් එක්සත් ජාතික පක්‍ෂයේ දැවැන්ත කඩාවැටීම දිහා බැලුවත් එතුමාගේ සාධකය තීරණාත්මක සාධකයක්. ඒ සාධකය මඟහැරලා දේශපාලනය ගැන කතා කරන්න ගියොත් ඒක මොළේ නැති අමාරුකමක් තියෙන්නේ. ඒ නිසා ඒක එතුමන්ලා භාර ගන්න ඕනෑ. අපි ඊට වඩා පහළ ඉන්න අය. අපිට පුළුවන් වෙන්නේ එවැනි කවුරු හරි නම් කළොත් ඒ කෙනාට උදවු කරන්න. අපි කවුරුත් ඉන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා විසින් නම් කරන කෙනකුට අපි උදවු කළ යුතුයි කියන අදහසේ.

ඔබ ඇතුළු 16 කණ්ඩායම හා ඒකාබද්ධ විපක්‍ෂය අතර තිබෙන යම් යම් මත ගැටුම් ඔබලාගේ එකඟතාවට යෑමේ ප්‍රබල බාධකයක් කියලා හිතෙන්නේ නැද්ද?

මත ගැටුමක් නෑ. ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්නේ කවුද? අපි එක්ක හිටපු මම හිතන්නේ අවුරුදු 20කට වඩා එකිනෙකා අඳුරන අය. එකට වැඩ කරපු අය, එක පක්‍ෂයක ඉන්න අය තවම ඒ නිසා. ඒ මත ගැටුම් ඒ තරම් බරපතළ හැටියට මං සලකන්නේ නෑ.

තව පැත්තකින් දේශපාලන කරළියේ ප්‍රබලම මාතෘකාව අර්ජුන් ඇලෝසියස් හරහා මුදල් ගත් දේශපාලනඥයන් ගැන. ඊට එල්ල වන සෘජු චෝදනාව තමයි ඒ මුදල් එ.ජා.ප.ය වගේම ශ්‍රී ල.නි.ප.යේ මැති ඇමැතිවරු අතරත් බෙදුණු බව?

අනේ මම නම් දන්නේ නෑ ඒ ගැන. මට නම් කවුරුත් සල්ලි දීලත් නෑ. ඔය වගේ අයගෙන් මම සල්ලි ගන්නෙත් නෑ. මම දේශපාලනය කරන්නෙ සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ගේ හා මගේ මිත්‍රයන් මට ලබාදෙන මුදල්වලින්. මම ඡන්දවලට ලොකු මුදල් වියදම් කරලත් නෑ. ඊඍ ඇඩ් ජීවිතේට දාලා නෑ. දාන්න සල්ලි තිබිලා නෑ. එහෙම ලොකු සල්ලි දීලත් නෑ. මම ඒ චෝදනාවට බයත් නෑ. පොලිස් පරීක්‍ෂණවලින් එළිවෙයිනේ කවුද සල්ලි ගත්තේ කියලා.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon