සුරපුරේ විසුමට ගිය අපේ ගුරු-උතුමා අයිවෝ ඩෙනිස්

  👤  4481 readers have read this article !
By mawbima 2018-06-24

මෙලොව සෑම කෙනකුටම පොදු ධර්මතාවකි මරණය. සමහරු උපදිති. ජීවත් වෙති, මිය යති. ඔවුන් ඉපැදුණු බව හෝ ජීවත් වූ බව හෝ මියැදුණු බව හෝ ලෝකයාට නොදැනේ. ලෝකයට යහපත්ව දැනෙන්නට ජීවත් වූ සහ මිය යන මිනිසුන් සොයා ගැනීම උගහටය.

ගීතය - සංගීතය බිහිව ඇත්තේ රස විඳීමේ කලාවක් වශයෙනි. රස විඳින්නෝ ශ්‍රාවකයෝද වෙති. ප්‍රේක්ෂකයෝද වෙති. සහෘදයෝද වෙති. එහෙයින්මගීත ලෝකයේ - සංගීත ලෝකයේ ජීවත් වී මියගිය බව දැනෙන යහපත් මිනිසුන්ගේ නික්ම යෑම ඔවුනටද දරාගත නොහැකි පාඩුවක් සේ දැනේ. පිරවිය නොහැකි අඩුවක් සේ දැනේ.

ජාතියේ පිනට ඉපැදුණු, ජාතියේ අභිමානය නංවාලන්නට ඉමහත් වෙහෙසක් දැරූ, සුභාවිත දේශීය සංගීතය වෙනුවෙන් දිවියම කැප කළ, මහා පෞරුෂත්වයකින් හෙබි කටහඬක් සංගීත ලෝකයට ඉතිරි කළ දැවැන්ත චරිතයක් පසුගියදා දැයෙන් සමුගත්තේය. අපෙන් සමුගත්තේය.

අභිමානනීය වූ නවෝදයේ
හිරු හෙට උදයේ පායනවා
සැකයේ පිනිබිඳු සිඳිලා යනවා
අලුත් දැයක් හෙට උපදිනවා

අභාවප්‍රාප්ත අයිවෝ ඩෙනිස් සූරීන් උපතින්ම කතෝලිකයෙකි. 1932 වසරේ මැයි මස 28 වැනි දින සීදුවේදී උපත ලද මේ කුඩා දරුවා ඔගස්ටින් අයිවෝ ඩෙනිස් යැයි නම් විය. ‍ෙදාන් ප්‍රැන්සිස් ඇලෝසියස් සහ විතාරණ මරියා රොඩ්‍රිගෝ යුවළ ඔහුගේ මවුපියෝ වූහ. එවකට සීදුව ශාන්ත මරියා දේවස්ථාන ගීතිකා කණ්ඩායම මෙහෙයවන ලද්දේ ඇලෝසියස් මහතා විසිනි.

කතෝලික දරුවකුට ක්‍රමවත් නාද ගත වීමකට, ස්වර්ගස්ත වීමකට, රිද්මගත වීමකට, මවුපියන් හැරුණු කොට මුල්ම අඩිතාලම යොදන්නේ ගමේ පල්ලියයි. එහෙයින්ම පුංචි කාලයේ සිටම ගමේ පල්ලියට යන - එන, නිතර දේව මෙහෙයට සම්බන්ධ වන අයිවෝ දරුවාගේ හදවතෙහිද ගමේ පල්ලියෙන් නැඟෙන මිහිරියාව තැන්පත් වන්නට ඇත. පල්ලියේදී ඉඳගන්නේත්, නැඟිටින්නේත්, දණ ගසන්නේත්, පියතුමන් දේශනා කරන පාඨවලට සාමුහිකව පිළිතුරු ලබා දෙන්නේත් නාදානුකූලවය, රිද්මයානුකූලවය. පසු කාලෙක ගමේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ප්‍රධානියා බවට පත්වීමට ඔහුගේ සහජ කුසලතාවන්ට අමතරව ඉහත කරුණුද බලපාන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. පල්ලියේ නින්නාද වන්නේ බටහිර සංගීත සම්ප්‍රදායයි.

එහෙත් අයිවෝ ඩෙනිසුන්ගේ නිර්මාණ පිරික්සා බැලීමේදී ඔහු කුමන සංගීත සම්ප්‍රදායක එක එල්ලේම රැඳී සිටියා දැයි පැවසීමට අපහසුය. ඔහුට අවැසි තැන්හිදී බටහිර සංගීත සම්ප්‍රදායද, උත්තර භාරතීය රාගධාරී සම්ප්‍රදායද, දේශීය ජන ගී සම්ප්‍රදායද, ස්වාධීන සරල සංගීත සම්ප්‍රදායද අවැසි පරිදි මනාව යොදාගෙන ඇති බව පෙනේ. මේවායින් බහුතරයක් තම ආදරණීය ගුරුවරයාණන් වූ සුනිල් සාන්තයන්ගේ තනු නිර්මාණය.

කුරුලු පාරාදීසයේ
කුරුලු සිහින සාගරේ
ඔබ හා විසුමට එන්නෙමි
කුරුලු සුරපුරේ

මේ ඔහු ගුවන් විදුලියට ගැයූ මුල්ම ඒකල ගායනයයි. එවකට ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයකු වූ තිලක සුධර්මන් ද සිල්වාගේ ගේය පද රචනයට අනුව මෙහි තනුව හා සංගීතය නිර්මාණය කරදෙනු ලැබූයේ සුනිල් සාන්තයන් විසිනි.

සුනිල් සාන්ත ගුරුතුමාණන්ට අමතරව ඩබ්ලිව්.බී. මකුලොළුව සූරීන්, සී.ද එස්. කුලතිලක සූරීන් වැන්නවුන්ගෙන් දේශීය සංගීතය පිළිබඳ මනා හුරුවක් ලැබීමේ අවස්ථාව අයිවෝ ඩෙනිස් මහතාට හිමිවිය.

සැලෙන ලෙළෙන උකුළු තලේ
ළිඳට යනෙන වතුරු කළේ
පෙර මහ පින ගෙනෙන වෙලේ
පෙර මහ පින ගෙනෙන වෙලේ
(ගේය පද - ඩෝල්ටන් අල්විස් - තනුව හා සංගීතය, ගායනය, අයිවෝ ඩෙනිස්)

70 දශකයේ දී මගේ සෞන්දර්ය චාරිකාවේ දැවැන්තම කඩඉමකට පැමිණීමට මඟ පෑදුණි. ඒ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළු වීමයි. අපේ අමරදේව ගුරුතුමාණන් ප්‍රමුඛ සනත් නන්දසිරි, අමරා රණතුංග, බී. වික්ටර් පෙරේරා, පී.වී. නන්දසිරි, විජේරත්න රණතුංග වැනි සංගීත ලෝකයේ නම් දැරූ පිරිසක් එහි කථිකාචාර්යවරු වූහ. ඒ අතර සිටි අයිවෝ ඩෙනිස් ගුරුතුමාණන්ගෙන් අපට හදාරන්නට ලැබුණේ ජන සංගීත විෂයයි. එතුමාණන් අපට ගයමින් - වයමින් කියා දුන් ජන සංගීත නාද මාලා අදටත් අප හදවත් හි රැව් දෙන්නේ - තැන්පත්ව ඇත්තේ හදවතින්ම ඉගැන්වූ නිසා වෙන්නට ඇති. එම සෙවණෙහි මගේ කාලයේ සිටි පසු කලෙක සංගීත ක්ෂේත්‍රයේ නම් දැරූ පිරිසක්ද ඩෙනිස් ගුරුතුමාණන් යටතේ ජන සංගීත විෂය හැදෑරීමට වාසනාව ලද්දෝය. රෝහණ වීරසිංහ, බන්දුල විජේවීර, ලක්ෂ්මන් විජේසේකර, මාලිනී බුලත්සිංහල, ආනන්ද වීරසිරි, සුනිල් දයානන්ද කෝනාර, ස්වර්ණලතා කවීශ්වර, යමුනා විනෝදනී ආදීහු ඒ අතර වෙති.

ඩබ්ලිව්.බී. මකුලොළුව සූරීන් නිර්මාණ කළ දෙපානෝ ගීත නාටකයේ රූපවාහිනි නිෂ්පාදනයේදී එහි මහපානා ප්‍රධාන චරිතයට අයිවෝ ඩෙනිස් මහතාගේ හඬත්, සුළුපානා ප්‍රධාන චරිතයට මගේ හඬත්, ගීත ගායනය සඳහා යොදා ගැනිණි. (ඊට පෙර සුළුපානා චරිතයට ගී ගැයුවේ වීරසේන ගුණතිලක සංගීතවේදියාණන්ය)

1983 වසරේදී රංජිත් ධර්මකීර්තිගේ අංගාරා ගඟ ගලා බසී නාට්‍යයෙහි රඟපෑමටත් ගායක කණ්ඩායමේ ප්‍රධානියා ලෙසත් සහභාගි වීමට මට අවස්ථාව ලැබිණි. (මීට පෙර එම භූමිකාව කර ඇත්තේ ටී.එම්. ජයරත්න ශිල්පියාණන්ය) පසුව එහි රූපවාහිනි නිෂ්පාදනය සඳහා මා සහ සුනිල් අබේසේකර සමඟ අයිවෝ ඩෙනිස් මහතාද සහභාගි වීම අප ලද භාග්‍යයකි.

අංගාරා ගඟ ගලා බසී...
අංගාරා ගඟ ගලා බසී..
පෙමින් පෙඟුණු නව යොවුන් සිතුම්
පෙමින් පිරුණු මඳහසින් නුවන්
හැඟුම් උදම් වී පවන් සලන සඳ
එවන් පහන් ‍ෙදාර
සෙමින් මුදා
අංගාරා ගඟ ගලා බසී
(ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ)

මෙහිදී සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා ද ගෞරවයෙන් සිහිපත් කළ යුතුවෙයි. කේමදාසයන් අයිවෝ ඩෙනිස්ගේ හඬ සහ ස්වර පරාසය මැනැවින් හඳුනා ගත්තෙකි. එතුමන්ගේ බොහෝ නිර්මාණයන් ඩෙනිස් හ¾ඩින් පෝෂණය වූ බව නොරහසකි.

මා කැමැතිම චිත්‍රපට ගීත තුනක් පෙළ ගස්වන්නට කවුරුන් හෝ මා වෙත නියම කළහොත් මේ මගේ තේරීමයි.

සිනිඳු සුදු මුතු තලාවේ
හඳුනා ගත්තොත් ඔබ මා
බුද්ධං සරණං ගච්ඡාමී

චිත්‍රපට සංගීතය තුළදී ආචාර්ය කේමදාසයන් ඩෙනිස් හඬ මැනැවින් සංකලනය කළ ගීයකි, "හඳුනා ගත්තොත් ඔබ මා", ආචාර්ය රෝහණ වීරසිංහයන් ද, එවැනිම නිර්මාණයකට "ආදර හසුන" චිත්‍රපටය තුළ ඩෙනිස් හඬ භාවිත කර ඇත.

රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලා කුළේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
(ගේය පද, අරිසෙන් අහුබුදු සූරීන්, සුනිල් එදිරිසිංහ සහ දමයන්ති ජයසූරිය සමඟිනි)

තම ආදරණීය ගුරුදේවයාණන් වූ සුනිල් සාන්තයන් නොමැති අඩු - පාඩුවට තරමක් හෝ අස්වැසිල්ලක් ගෙන දීමට අයිවෝ ඩෙනිස් ශිල්පියාණන් වගබලා ගත්තේය. සුනිල් සාන්ත පුත් ලංකා සාන්ත, විජිත් කුමාර් සේනාරත්න වැන්නවුන් සමඟ එක්ව සුනිල් සාන්ත පදනම හරහා කළයුතු සියලු වගකීම් යුතුකම් ඉටුකළේය.

මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන් අයිවෝ ඩෙනිස් ගුරුතුමාණන්ගේ නිහතමානිකම ඉස්මතු වන එක් කරුණක් ලියා තබමි. අයිවෝ ඩෙනිස් මහත්මා වෙත විශ්වවිද්‍යාල ආචාර්ය පදවියක් ලබා දෙන ලෙස මහාචාර්ය ජයන්ත අමරසිංහ මහතා යෝජනාවලියක් සකස් කළේය. මේ පිළිබඳ වැඩි කැමැත්තක් නොදැක්වූ ඩෙනිස් මහතා කියා සිටියේ "මගේ ගුරු සුනිල් සාන්තයන්ටත් මේ රටේ නොලැබුණු ආචාර්ය පදවියක් මට කුමටද?" යනුවෙනි. මෙම කාරණාව විශ්වවිද්‍යාල බලධාරීන් වෙත යොමු කළ යුතු වන බව මට හැඟේ.

අයිවෝ ඩෙනිස් වෙනුවෙන් ආදේශකයක් නැත. එහෙයින් මතු පරපුර වෙනුවෙන් එම නිර්මාණ විධිමත් සංරක්ෂණයකට ගොනු කළ යුතුය.
ආදරණීය ගුරුතුමනි, ජේ‍යෂ්ඨ කලාකරුවාණනි, නිහතමානී මිනිසාණෙනි, ඔබට සග සුව ලැබේවා!

අනුරාධපුර පොළොන්නරුව සීගිරි මන බන්ධනීය
කුලුනු පිළිම බිතුසිතුවම් නන් සිතිවිලි රන්ජනීය
පස් පියුමින් පිරුණු පොකුණු රේණු හැලී රන් පාටය
ඉන් නැහැවී නිල් ගැන්වෙන ගොයම් තළා පින්පාටය
(ගේය පද, ගරු මර්සලින් ජයකොඩි පියනම, ගී තනු, සුනිල් සාන්තයන්)
"රේඛාව" වෙනුවෙන් ගැයූ එතුමන්ගේ මුල්ම චිත්‍රපට ගීතයයි.

විශාරද එඩ්වඩ් ජයකොඩි

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon