අම්බාල්කුලමේ වැසියෝ කොටියකු මරා ආතල් ගනිති

  👤  3856 readers have read this article !
By mawbima 2018-06-22

සපුමල් ජයසේන,

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චියේ අම්බාල්කුලම් ප්‍රදේශයට ඊයේ (21දා) කඩා වැදුණු කොටියකුට ගම්වැසියන් විශාල පිරිසක් එක්ව අමානුෂික ලෙස පහරදී මරාදමා තිබේ.
එම ප්‍රදේශයට කඩා වැදුණු කොටියා ගම්වැසියන් එකළොස් දෙනකුව සපා කා තිබේ.

පෙරවරු අටට පමණ අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු කොටියා කිසියම් හේතුවක් නිසා බියට පත්වී සිටි බවත්, දුටු දුටු පුද්ගලයන්ව සපා කන්නට වූ බවත් ප්‍රදේශවාසීහු සඳහන් කරති.

සිද්ධිය වාර්තාවූ සැණින් කිලිනොච්චියේ පිහිටි වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් උතුරු පළාත භාර වනජීවී පශු වෛද්‍යවරයාද සමඟින් එම ප්‍රදේශයට ගොස් ඇත්තේ කොටියාව නිර්වින්දනය කොට අල්ලා වනයට මුදා හැරීමටයි.

ප්‍රකෝපකාරීව හැසිරුණු ගම්වාසීන් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට කොටියාව ඇල්ලීමට ඉඩ දී නැත.

කොටියා මරා දැමිය යුතු බව පවසමින් ගම්වැසියන් තුන්සීයකට අධික පරිසක් වනජීවී නිලධාරීන්ටද බැන තර්ජනය කොට ඔවුන්ව ආපසු හරවා යැවීමට කටයුතු කොට ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි.

පසුව වනජීවී නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබා ගනිමින් එම ප්‍රදේශයට යනවිට ගම්වැසියන් කොටියාට පහරදී මරා දමා තිබුණු බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී.

කොටියාට පහරදී මරා දැමීමෙන් අනතුරුව සතාගේ මළ සිරුර උඩ දමමින් එම පිරිස තිරිසනුන් ලෙස හැසිරුණු බවද කිලිනොච්චිය වනජීවී නිලධාරීහු සඳහන් කරති.
මේ සම්බන්ධව අප කළ විමසීමකදී වනජීවීසංරක්ෂණ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ වනජීවී නිලධාරීන්ට කොටියාව නිර්වින්දනය කොට ඇල්ලීමට ඉඩ නොදී පහරදී මරා දැමීම නිහීන ක්‍රියාවක් බවයි.

උතුරට වෙනම නීතියක් නැති බවත් පොලිසියේද සහාය ලබා ගනිමින් සතා මරාදමන ලද පුද්ගලයන්ව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කොටියාගේ සපා කෑමෙන් පුද්ගලයන් එකොළොස් දෙනකු තුවාල ලබා ඇති අතර, ඉන් දස දෙනෙක් කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon