හම්බන්තොට ජැටියට බද්දක් ඉල්ලලා නෑ

  👤  3810 readers have read this article !
By mawbima 2018-06-22

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ නාවික හමුදාව සඳහා ඉදිකළ ජැටිය භාවිත කිරීමට 'චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම' මිලියන 52ක බද්දක් ගෙවන ලෙස ඉල්ලා නාවික හමුදාවට ලිඛිත දැනුම් දීමක් කර ඇතැයි පාර්ලිමේන්තු

මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක පවසයි.

මෙවැනි අසත්‍ය තොරතුරු කෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතට පත්වෙනවාද යන්න පිළිබඳව තමාට ඇත්තේ ප්‍රශ්නයක් බවත්, එවැනි ඉල්ලීමක් එම චීන සමාගම කිසිවිටකත් ඉදිරිපත් කර නැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකර ඇති දූපත චයිනා මර්චන්ට් පෝර්ට් සමාගමට ලබාදීමට කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බවත් එම සමාගම විසින් එකී දූපත විනෝද කටයුතු සඳහා ලබාදෙන ලෙස වරාය අධිකාරියෙන් කිසිදු විටක ඉල්ලා නැති බවත් දිසානායක මහතා පැවැසීය.

ඉදිරි වසර 99ක කාලය තුළදී හම්බන්තොට වරාය ආශ්‍රිතව සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන් ඉවත් වන්නේ නැති බවත් දැනට නාවික හමුදාව භාවිත කරන ජැටිය එලෙසම පාවිච්චි කරන බවත් පරාක්‍රම දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon