ඥානසාර හිමි සිරගෙට යැවීම බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක්

  👤  3881 readers have read this article !
By mawbima 2018-06-22

ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවො ජීවිත කාලයේම සිරගත කොට සිටියත් පාරාජිකා නොවුණොත් භික්ෂුත්වය අහිමි වන්නේ නැතැයි රාජකීය පණ්ඩිත තල්ගමුවේ සුධීරානන්ද නාහිමියෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ ඊයේ (21දා) 'මවුබිම සුරක්ෂා පදනම' රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවැසූහ. භික්ෂුන් වහන්සේ කෙනකුගේ මහණකම නැති වෙන්න නම් පාරාජිකා වෙන්න ඕන. ස්වාමි භාර්යාවන් ලෙස ජීවත් වීම, ධාර්මික රජ කෙනකුගේ දඬුවම් ලැබීමට හේතුවන හොරකමක් කිරීම, මනුෂ්‍ය ඝාතනයක් කිරීම හෝ අනුබල දීම, මාර්ගඵල තියෙනවා කියල වරප්‍රසාද ලබනවා නම් තමයි උපසම්පදා භික්ෂුවකට මහණකම නැති වෙන්නෙ. සිවුරු නැතුව හිටියත් උන්වහන්සේ භික්ෂුවක් තමයි. ඒ කාලෙ සිවුරු හොරු ගත්තා. ඒත් උපසම්පදාව නැති වුණේ නැහැ. මහණකම නැති කරන්න සිවුරට බැහැ. උන්වහන්සේ ජීවිත කාලයේම හිරේ සිටියත් පාරාජික නොවෙනවා නම් මහණකම නැති කරන්න බැහැ.

'සිංහලේ' සංවිධානයේ සභාපති ජඹුරේවල චන්ද්‍රරතන හිමි,

ඥානසාර හිමි සම්බන්ධ නඩුව දිගින් දිගටම ඇදි ඇදී යනවා. උන්වහන්සේ ඉදිරිපත් කළ ඇප අයැදුම්පත විභාග කරන අවස්ථාවට පසුගිය 18 වැනිදා නීතිපතිවරයා පැමිණියේ නැහැ. ඒත් ඇප ලබාදීමට මහෙස්ත්‍රාත්ට බලයක් තිබෙන බව නීතිඥ සංගමය මේ වනවිට ප්‍රකාශ කොට තිබෙනවා. ඒත් ඇප ලබාදීම සිදු වුණේ නැහැ.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට නොපැමිණියේ ඔවුන්ට දන්වා නොමැති නිසා බව රාජිත සේනාරත්න ඇමැතිවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. ඒත් ඥානසාර හාමුදුරුවන්ගේ නීතිඥයන් විසින් කුරියර් සේවාව මඟිනුත්, දුරකථන මඟිනුත් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා.

ඒ වගේම සිකුරාදා (22දා) සවස යළි එම ඇපෑල විභාගයට ගැනීමට නියමිතයි. නීතිපතිවරයා මේ නඩු කටයුත්ත මඟහැර ඥානසාර හිමියන් තවත් සිරකර තැබීමට සැරසෙන්නේද යන සැකය අපිට මතු වෙනවා.

ඥානසාර හාමුදුරුවො සිරගත කොට සිටින්නේ දේශපාලන ඩීල් එකකට කියල ඇතැමුන් ප්‍රචාරය කරනවා. ඒත් එවැනි වැඩ කරන අජිත් ප්‍රසන්න වැනි අයට කියනවා එවැනි ප්‍රචාර නතර කරන්න කියලා. අජිත් ප්‍රසන්න කියන අඥානයා කරන්නේ ගෝඨාභය මහත්තයගෙ ඡන්ද අඩු කරන එකයි.
සිංහල රාවය සංවිධානයේ සභාපති මාගල්කන්දේ සුදත්ත හිමි,

ඥානසාර හිමි සිවුරෙන් ඉන්නවද, ජම්පරෙන් ඉන්නවද කියල බෞද්ධයන්ට ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒක එන්.ජී.ඕ. තක්කඩියන්ට ප්‍රශ්නයක් වෙලා. ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද කඩන්න ඥානසාර හාමුදුරුවො ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව කියල අජිත් ප්‍රසන්න කියන පුද්ගලයා මේක දේශපාලන ප්‍රශ්නයක් කරගන්න තවත් ගොන් කතා කියනවා. ඥානසාර හාමුදුරුවො කියන භූමිකාවට පහරදීලා උන්වහන්සේ කුණු කරන්න කුහක අදහසින් කටයුතු කරනවා. උන්වහන්සේ කිසිදු දේශපාලන පක්ෂයක ගැත්තෙක් නොවෙයි.

සංඝ නායක හාමුදුරුවරු සිටියත් ඇබිත්තයකුගෙ ප්‍රශ්නයක් විසඳීමටවත් නොහැකි වී තිබෙනවා. ඥානසාර හාමුදුරුවන්ට සිදුවූ මේ විපත ශක්තියක් කරගෙන සංඝාධිකරණ පනත සම්මත කර ගැනීමට කටයුතු කළ යුතුයි.
දියසෙන්පුර විමල හිමි,

ඥානසාර හිමිගේ හඬ කාහල නාදයක් බවට පත්වන්නේ වෙනත් සිංහල නායකත්වයක් පහළ නොවූ නිසයි. උන්වහන්සේ නිර්භීත ලෙස සමාජගත වුණේ පෞද්ගලික අරමුණක් නිසා නොවෙයි. උන්වහන්සේ සිරගත කළේ රටට අපරාධක් කරලා නොවෙයි. පාලකයො රට නිවැරැදි මඟක ගෙනිච්චා නම් උන්වහන්සේට සිරබත් කන්න වෙන්නේ නැහැ.
සන්සුන්ගම ඥානරතන හිමි,

ඥානසාර හාමුදුරුවො වෙනුවෙන් අද බෞද්ධ සමාජයම අවදි වී සිටිනවා. උන්වහන්සේ ජාතික සංකේතයක් බඳුයි. උන්වහන්සේට සිරබත් කැවීම ජාතික හා ආගමික විරෝධී බලවේගවල කුමන්ත්‍රණයක ඵලයයි. කුමන නිකායක් නියෝජනය කළත් අපි මේ සිංහල බෞද්ධයන්ට එරෙහි අභියෝගයට සංවිධානාත්මකව මුහුණ දිය යුතු වෙනවා. ඒකට අපි සංවිධානය වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon