සමහර හිමිවරුන් 'හිට්ලර්' පාලනයක් ඉල්ලුවත් 'ජනවාරි 8' අපි පැරැද්දුවේ එවැනි ඒකාධිපති පාලනයක්

  👤  3946 readers have read this article !
By mawbima 2018-06-22

සමහර හිමිවරු පවා අද කියනවා ඇහෙනවා මේ රටට අවශ්‍ය 'ඒකාධිපති හිට්ලර්' පාලනයක් කියලා. ඉන්න මට කොන්ද පණ නෑ කියලා මොනවත් කරන්ඩ බෑ කියලත් කියනවා. නමුත් ඔය කියන ආඥාදායකයන් දෙදහස් පහළොවේ ජනවාරි අට වැනිදා පැරැද්දුවේ මේ රටේ ජනතාව බව අපි කියනවා යැයි ඊයේ (21දා) නිකවැරටිය කොටවෙහෙර 'වෙහෙරපුර' නිවාස ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

අද මට දුක හිතෙනවා. මේ කරන ඉල්ලීම් පිළිබඳව. මොකද අපේ හාමුදුරුවනේ, ඒකාධිපතියෝ මේ රටට ඇවිල්ලා මේ රට භාරගත්තොත් මොනවාගේ තැනකට මේ රට යයිද? හිටපු ජනාධිපතිවරයා මැතිවරණයකට ගියේ වසර දෙකක් ඉතිරිව තියෙනකොට. ඒ රටේ ණය බර සහ ජාත්‍යන්තර අප්‍රසාදය හරහා රට කරගෙන යන්න බැරි බව දැනගත්ත නිසා. ඒ නිසා ඒ අය මේ දකින්නේ දවල් හීන විතරයි කියලා අපි ඒ අයට මතක් කරනවා. එදා මාව මේ රටේ ජනතාව පත් කළේ රස්සාවල් හෝ ආහාර ඉල්ලලා නෙමෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් යුගයක් හදලා දෙන්න කියලායි. එහෙම තැනකට රට ගෙනාපුවාම අද මට කියනවා පණ නෑ, කොන්දක් නෑ කියලා. ඒ මම නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ශක්තිමත් කරපු නිසයි.

එදා බණ්ඩාරනායක මහත්තයාටත් 'සෙවල බණ්ඩා' කියල පහර ගැහුවා. ඒත් අද බණ්ඩාරනායක මහත්තයායි, ප්‍රේමදාස මහත්තයයි ගැන තමයි රටේ ජනතාව කතා කරන්නේ. ඒ ඔවුන් රටට ගමට වැඩක් කරපු නිසා.

අද තමන්ගේම කියලා නිවෙසක් සමඟ ජලය, ඇතුළු සම්පත් ලැබෙනවා. ඒ මේ රටේ නිවාස වැඩපිළිවෙළ සජිත් ප්‍රේමදාස මහත්තයා අකුරටම කරගෙන යන නිසායි.
පසුගිය කාලේ නිවාස අමාත්‍යාංශයට හේත්තු වෙලා හිටපු එක්සත් ජාතීන්ගේ කාර්යාල ඉදිරිපිට උපවාස කරපු අයට තැඹිලි පොවලා, නැගිට්ටපු නායකයන් ප්‍රජාතන්ත්‍රවාදය, රණවිරු දඩයම ගැන කියලා මේ රටේ බොරු ප්‍රචාර යනවා. ඒ අයට කඩේ යන මාධ්‍ය ආයතනත් මේ රටේ තියෙනවා.

අපේ සංවර්ධන වැඩ, නොපෙන්වා ඒ අයගේ කතාවලට වැඩි කාලයක් යොදවනවා. ඔය මාධ්‍ය නිදහස ලිවීම, කියැවීම, එදා තිබුණේ නෑ. තිබුණේ එහෙම කරන අය උස්සන් යන සංස්කෘතියක් විතරයි. ඒක හුඟ දෙනෙක්ට අද අමතක වෙලා. ඇතැම් මාධ්‍ය හරහා ජනතාව නොමඟ යවමින් කරන දේවල්වලට වඩා නොකරන දේවල් පෙන්වමින් මහා විනාශයක් කරනවා. මේ තත්ත්වය හරිම කනගාටුදායකයි.

තමන් මේ රටේ ඉපදුණේ මේ රටට සේවයක් කිරීමට නම් ඒ සේවය රට ගැන හිතලා හැම විටකම කරන්න කියලා කියන්න කැමැතියි.

ජාතික වශයෙන් කළයුතු සියලු වැඩ සඳහා අන්තර් ජාතික වශයෙන් විශාල සහයෝගයක් අපිට ලැබිලා තියෙනවා. රජ කාලෙන් පසුව කරපු විශාලතම හා ලොකුම ව්‍යාපෘතිය තමයි අපේ ආණ්ඩුව බලයට පත්වුණාට පසු මොරගහකන්ද ව්‍යාපාරය වැඩ නිමකෙරුවේ. නමුත් මේවා සවසට ටී.වී. එක ළඟ ඉඳගත්තට පේන්නේ නැහැ. ආණ්ඩුව මුකුත්ම කරලා නෑ වාගේ තමයි පේන්නේ. මේක රටේත්, ජාතියේත් අවාසනාව කියලයි මට හිතෙන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon