අපි අරන් තියෙන ණය කලට වේලාවට ගෙවනවා

  👤  4007 readers have read this article !
By mawbima 2018-06-22

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබාදුන් බවත් එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල බවත් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

ඒ අනුව ඩොලර් මිලියන 584ක් වරාය අධිකාරියට හිමිවූ බවත් ඉදිරි වසර තුන ඇතුළත ඇමෙරිකානු ඩොලර් මිලියන 400ත් - 600ත් අතර සෘජු ආයෝජනයක් කිරීමට එම සමාගම සූදානම් බවත් අමාත්‍යවරයා පැවැසීය.

මේ ආයෝජනය නිසා රුපියල අවප්‍රමාණය වීම අඩුවිය හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ඊයේ (21දා) වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙසේද කීය.

හම්බන්තොට වරායේ ගිවිසුම ප්‍රකාරව අපේ රටට ඇමෙරිකන් ඩොලර් මිලියන 974ක් ලැබී තිබෙනවා. තවත් ඩොලර් මිලියන 146ක් මාසයක් ඇතුළත සෘජු ආයෝජනයක් ලෙස අපට ලැබෙනවා. මෙම අදාළ ගිවිසුම අස්සන් කිරීමට පෙර පැවැති සාකච්ඡාවේදී එකඟවී තිබුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට 20%ක කොටස් ලබාදෙනවා කියලයි. 80%ක් චයිනා මර්චන්ට් පෝර්ට් සමාගමට ලැබෙනවා. නමුත් මෙම අමාත්‍යාංශය භාරගත්තාට පසුව අපි හිතුවා ඊට වඩා කොටස් ප්‍රමාණයක් ලබාගන්න කටයුතු කළ යුතුයි කියලා. ඒ අනුව එම සමාගමත් සමඟ සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් ලබාගෙන අපේ කොටස 30.6%කට වැඩි කරන්නට හැකි වුණා. එවිට චයිනා සමාගමට 69.9%ක් පමණ කොටස් හිමියි.

මේ මුදල අපට හිමිවීමත් සමඟ අති විශාල මුදලක් මහා භාණ්ඩාගාරයට ලැබී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවට ජාත්‍යන්තරයට පණිවුඩයක් ලබාදීමට හැකියි අපගේ මූල්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය පිළිබඳව. ඒ වගේම දේශීය ආයෝජකයන්ටත් මේ පිළිබඳව හොඳ චිත්‍රයක් මවාගන්න පුළුවන් අපේ රටේ ආර්ථිකය පිළිබඳව. මොකද අපේ ආණ්ඩුව බොහොම වගකීමෙනුයි ආර්ථිකය හසුරුවන්නේ.

අපි අරන් තිබෙන ණය හරි කාල වේලාවට ගෙවනවා කියන්නේ ජාත්‍යන්තරයට අපි තවත් හොඳ පණිවුඩයක් යවනවා අපි බොහෝම වගකීමකින් කටයුතු කරන ආණ්ඩුවක් බවට. අපි අරගෙන තිබෙන ණය ප්‍රමාණය කලට වේලාවට ගෙවීමෙන් අපට හැකිවනවා අවශ්‍ය නම් තවත් ණය ප්‍රමාණයක් අරගෙන මේ රට සංවර්ධනය කරන්න. මේ හරහා රටේ ආර්ථිකයට ලොකු හයියක් ලැබී තිබෙනවා. චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම (ඛ්ර් ර්ථීධපබ) වරායන් පිළිබඳ විශාල දැනුමක් ඇති සමාගමක්. ලෝකයේ වැඩිම වරායන් තිබෙන සමාගම අතර දෙවැනි ස්ථානය එම සමාගමට හිමිවී තිබෙනවා.

අද අපිට හම්බන්තොට වරායේ 30%ක කොටසක් හිමිවී තිබෙනවා. 2018 පළමුවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය 5%ක ආදායම් වර්ධනයක් ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම වරාය අධිකාරියේ වියදම 6%ක් අඩුවෙලා තිබෙනවා. ඒ වගේම ලාභ අතින් ගත්තහම 28%ක වර්ධනයක් පෙන්නුම් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා වරාය ඇතුළත කර්මාන්ත ආරම්භ කිරීමටත්, සිමෙන්ති, පිටි වගේ වරාය ආශ්‍රිතව සිදුකෙරෙන කර්මාන්ත පිහිටුවන්නටත් කටයුතු කරනවා.
මෙහිදී අදහස් දැක්වූ හම්බන්තොට වරායේ ප්‍රධාන විධායක නිලධාරි තිස්ස වික්‍රමසිංහ

අපට මේ අවුරුද්ද තුළ පළමුවැනි කාර්තුවේදී 100%ක දියුණුවක් ලබාදී තිබෙනවා. දැනට හම්බන්තොට වරායෙන් නැව් 30ක් පමණ මෙහෙයවනවා. ඒ වගේම පෙර වසරට වඩා මේ වසරේදී වරායේ සිදුකළ වාහන මෙහෙයුම් විශාල ප්‍රමාණයකින් වැඩිවී තිබෙනවා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා : අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon