චන්ද්‍රිකා නිසා බන්දුල හා කිරිඇල්ල අතර උණුසුම් කතාබහක්

  👤  4437 readers have read this article !
By mawbima 2018-06-22

කාලෙකට පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පිළිබඳව ඊයේ (21දා) දින පාර්ලිමේන්තුවේ කතාබහ කිරීමත් සමඟම මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

චන්ද්‍රිකා ගැන කතාකරමින් උණුසුම්වාදයකට පැටලුනේ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන සහ පාර්ලිමේන්තුවේ සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය.

චන්ද්‍රිකා ගැන කියමින් බන්දුල හා කිරිඇල්ල පැටලුණේ ඇයි?

මෙම සිදුවීමට පාර කැපුවේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකට යොමු කර තිබුණු ප්‍රශ්නයක් හේතුවෙනි.
තේ වතු පිළිබඳව විමසන ලද එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේ රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාසය.

ඉන් අනතුරුව අතුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් බන්දුල ගුණවර්ධන විමසා සිටියේ නකල්ස් රක්ෂිතය පිළිබඳවයි.
'නකල්ස් රක්ෂිතයට අයත් කිසිම ඉඩමක් කාටවත් ලබාදීලා නැහැ. 1995දී චන්ද්‍රිකා මැතිනිය වතු සමාගම්වල අක්කර ලක්ෂ 5ක් පෞද්ගලික අංශයට ලබාදෙනකොට විරුද්ධ වුණාද? ඔය දැන් කෑගහන කවුරුත් විරුද්ධ වුණාද?' ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ශබ්ද නඟා ප්‍රකාශ කළේය.
'අපි චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හිටියේ නැහැ' බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කිරීමත් සමඟම මැතිසබය තුළ ඇතිවූයේ උණුසුම්කාරී මෙන්ම ඝෝෂාකාරී තත්ත්වයකි.
බන්දුල ගුණවර්ධනගේ සහායට වාසුදේව නානායක්කාර එක්වීම නිසා ඝෝෂාව තවත් වැඩිවිය.

'එදා චන්ද්‍රිකා මැතිනියගේ කාලේ මහනුවර, මාතලේ වතු දුන්නාට සමහර වතු කවුරුත් ගත්තේත් නැහැ. චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ ඉඳලා අවුරුදු 20ක් පමණ කාලයක් වතු සේවකයන්ට ඡ්ර්ථීජ් ගෙවලා නැහැ. රුපියල් මිලියන 1800ක් ඡ්ර්ථීජ් වශයෙන් ගෙවන්න තිබුණා. මං 2001දී වැවිලි කර්මාන්ත ඇමැතිවරයා විදියට ඡ්ර්ථීජ් ගෙවනකම්ම මේවා ගෙවලා තිබුණේ නැහැ. 2015 වර්ෂයේදී අපි ආණ්ඩුව භාරගන්න කොට ඡ්ර්ථීජ් ගෙවීමට නියමිතව තිබුණු රුපියල් මිලියන 1800න් රුපියල් මිලියන 1000ක් ගෙවන්න එවකට මුදල් ඇමැති රවි කරුණානායක මහතා කටයුතු කළා.

අද වෙනකොට මේ සමහර වතු නඩත්තු කරන්න බැහැ. මං වත්තකට ගියා. සුමානයකට දින 2ක් පමණයි මේ වතුවල වැඩ තියෙන්නේ. කාටවත් එපා කියපු වතුවල වගා නොකරපු ඉඩම්වලට අදාළ යෝජනා 250ක් කබීර් හෂීම් අමාත්‍යවරයා සකස් කළා. මේ නිසා මගේ හා කබීර්ගේ හිතවතුන්ට ඉඩම් බෙදුවා කියලත් ප්‍රචාරයක් ගෙන යනවා. අපේ කිසිම හිතවතකුට අපි ඉඩම් ලබාදීලා නැහැ.

'චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලේදී ඔබතුමා තමයි වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා' යනුවෙන් බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ ලක්ෂ්මන් කිරිඇල්ලටය.
'මට චන්ද්‍රිකා වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදුන්නේ නැහැ. මට චන්ද්‍රිකා ලබා දුන්නේ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයයි' යනුවෙන් ඊට ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රතිචාර දැක්වූයේ සිනහවෙමින්ය.

ඊට බන්දුල ගුණවර්ධන කෑ ගසමින් යමක් ප්‍රකාශ කළද මැතිසබය තුළ තිබුණු ඝෝෂාකාරීත්වය නිසා එය පැහැදිලි නොවීය.
'චන්ද්‍රිකාගේ කාලයේ අක්කර ලක්ෂ 5ක් දෙනකොට කොහේද? හිටියේ. ඒක වරදක් නොවේද?' යළිත් විමසුවේ ලක්ෂ්මන් කිරිඇල්ලය.
'එහෙම කළා නම් වරදක්. ඒ වරද තවත් කරන්න එපා' යනුවෙන් බන්දුල ගුණවර්ධන ඉල්ලීමක් කළේය.

'ආ... ආ.... වරදක් කළා කියලා පිළිගන්නවාද?'

'එදා එතකොට පරිසරවේදීන්ගෙන් ඇහුවාද? මේ හදන්නේ ආයෝජන කඩාකප්පල් කරන්නයි. සෙම්බුවත්ත කියන වත්තේ තියෙන වැව බලන්න විතරක් පසුගිය වසරේ පැමිණි විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර පමණක් විකුණලා රුපියල් මිලියන 10ක ආදායමක් ලැබිලා තියෙනවා. මේවා කඩාකප්පල් කරන්නයි මේ හදන්නේ' යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල විසින් යළිත් ප්‍රතිචාර දක්වන ලදී.
'මං චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ එතකොට හිටියේ නැහැ. ගජමිතුරන්ට ඉඩම් පවරලා දීලා වංචා, දූෂණ චෝදනා එල්ල වෙලා චන්ද්‍රිකා මැතිනියට අධිකරණයෙන් දඬුවම් ලබාදුන්නා' යනුවෙන් බන්දුල ගුණවර්ධන කියා සිටියේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයාද කෑ ගසමින් යමක් ප්‍රකාශ කළද එය පැහැදිලි නොවීය.
ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා විසිනි.

විවාදය ආරම්භ කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා සිනාමුසු මුහුණින් පැවැසුවේ අද තමාගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය බවයි.
අද මගේ ජීවිතයේ පී්‍රතිමත්ම දිනයයි. මං හරිම සතුටෙන් 1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ.

1990 සුවසැරිය ගිලන් රථ සේවයට සමාජය තුළ තිබෙන ඉහළ පිළිගැනීම උදාහරණ සහිතව පෙන්වා දීමටද හර්ෂ ද සිල්වා අමතක නොකළේය.
මට පුවත්පතක පළවූ මංගල යෝජනාවක් එවලා තිබුණා. එහි මනාල මහතාගේ රැකියාවට සඳහන් කරලා තියෙන්නේ 1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවයේ නියුතු කියලයි. ඒකෙන්ම පේනවා මෙම සේවාවට සමාජයේ තිබෙන පිළිගැනීම යනුවෙන්ද හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේය.
ඔයාටත් මංගල දැන්වීමට දාන්න පුළුවන් නේද? ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්තිපැවැසුවේ සිනාසෙමින්ය.

මට නම් තව මඟුල් ඕන නැහැ. යනුවෙන් හර්ෂ ද සිල්වා කළ කතාවට සියල්ලෝම සිනහසුණහ.
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගෙන් පැසසුමක් ලබා ගැනීම එතරම් පහසු නැත. 1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවය තුළදී රටේ පොදු මහජනතාවට සිදුවන සේවය සැලකිල්ලට ගෙන ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා මෙම ගිලන් රථ සේවාව හඳුන්වාදීම සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයාට සුබ පැතුවේය.

විවාදයට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රීධරන් ආණ්ඩුවට හොඳහැටි දෙහි කැපුවේය.
උතුරේ කිසිම සංවර්ධනයක් සිදුවී නොමැති බවත් උතුරට දේශපාලන විසඳුමක් ලබාදීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාටත් රනිල් වික්‍රමසිංහ ආමාත්‍යවරයාටත් හැකි වී නොමැති බවත් සඳහන් කරමින් දැඩි දෝෂාරෝපණයක්ද ශ්‍රී ධරන් මන්ත්‍රිවරයා විසින් එල්ල කරන ලදී.
ශ්‍රී ධරන් මන්ත්‍රිවරයාට තම අප්‍රසාදය හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා පළ කළේය.

1990 සුවසැරිය සේවයෙන් සිදුවන සේවාව ගැන කිසිදු වචනයක් කතා නොකිරීම ගැන මම කනගාටු වෙනවා. හර්ෂ ද සිල්වා කීවේය.
ඒකට හොඳ කියන එක මේ ආණ්ඩුවේ ජයග්‍රහණයක් කියලා හිතන්න එපා. ශ්‍රී ධරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
1990 ගිලන් රථ සේවය ඔබතුමාගේ දිස්ත්‍රික්කයට එපාද? එපා නම් කියන්න. එපා නම් කියන්න යනුවෙන් හර්ෂ ද සිල්වා දිගින් දිගටම ප්‍රකාශ කළේය.
නමුත් ඊට ශ්‍රී ධරන් මන්ත්‍රිවරයා නිහඬව සිටියා මිස කිසිදු පිළිතුරක් ලබා දුන්නේ නැත.

ශ්‍රී ධරන් මන්ත්‍රිවරයා තම කතාවේදී පසුගිය ආණ්ඩුවටද දැඩි ලෙස චෝදනා එල්ල කළේය. ඒ වගේම වත්මන් ආණ්ඩුවටද චෝදනා කළේය. මෙහිදී රීති ප්‍රශ්නයක් මතු කිරීමට නැඟී සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේය.
මේ ආණ්ඩුව මුකුත් කරලා නැහැ කියලා ටී.එන්.ඒ. මන්ත්‍රිතුමා කියනවා. එහෙම කියලා මේ ආණ්ඩුවත්් එක්කම ඉන්නවා යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කෑගසමින් ප්‍රකාශ කළේය.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා දෙමළ භාෂාවෙන්ම ශ්‍රී ධරන් මන්ත්‍රිවරයා සමඟ අදහස් හුවමාරු කරගැනීම විශේෂ සිද්ධියක් විය.
ඔබතුමා ක්‍රීඩා අමාත්‍ය කාලේ කිලිනොච්චියේ ක්‍රීඩාංගණයක් හැදුවා. එහි වංචා කටයුතු සිදුවුණා. ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන්න බෑ යනුවෙන් ශ්‍රී ධරන් මන්ත්‍රිවරයා චෝදනා කළේය.
කිසිම මුදලක් වංචා වෙලා නැහැ. ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තමයි ආණ්ඩුවෙන් සල්ලි අරගෙන ආණ්ඩුවට ඡන්දේ දෙන්නේ යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා චෝදනා කළේය.

ඉන් අනතුරුව දෙදෙනා අතර උණුසුම් කතාබහක් දෙමළ භාෂාවෙන් සිදුවිය.
ඒකාබද්ධ විපක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර විවාදයට එක්වෙමින් 1990 සුවසැරිය ගිලන් රථ සේවය යම් විවේචනයකට ලක් කළේය. මේ හරහා නිදහස් සෞඛ්‍ය සේවයට යම් තර්ජනයක් එල්ල විය හැකි බවත් ඒ වගේම ඉක්ටා ගිවිසුමට පාර කැපීම සිදුවිය හැකි බවත් පද්ම උදයශාන්ත ගුණසේකර පෙන්වා දුන්නේය.

පද්ම උදය ශාන්ත ගුණසේකර දැඩි විවේචනයට ලක් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන කටයුතු කළේය.
දෙයියෝ දෙනකොට භූතයෝ වළක්වනවා. හොඳ වැඩක් කරන කොට ඒකට හරස් කපන්න එපා. රෝ ඔත්තු සේවාව එනවා කියලා මේ වැඩේ කඩාකප්පල් කරන්න හැදුවා. එහෙම කරවන්න එපා. යනුවෙන් තුෂාර ඉඳුනිල් අමරසේන ප්‍රකාශ කළේය.

තැපැල් සේවකයන්ගේ ඉල්ලීම්වලට සාර්ථක ප්‍රතිචාර ලබා දී තිබෙන බව තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් ප්‍රකාශ කළේය.
මේ කරන්න හදන්නේ ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක් යනුවෙන් ඇමැතිවරයා කී කතාවට අපූරු ප්‍රතිචාරයක් දැක්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයාය.

තැපැල් සේවකයන් 26,000කට ආණ්ඩුවක් පෙරළන්න පුළුවන්ද? මේ වැඩවර්ජනය අවසන් කිරීමට. අමාත්‍යතුමා කරන්න තියෙන්නෙ බොහොම සරල දෙයක්. ඇමැතිතුමා වාචිකව එකඟ වූ දේ ලිඛිතව ලබා දෙන්න. එතකොට මේ වැඩ වර්ජනය අවසන් වෙනවා. එහෙම නොකර සිටීමෙන් මේ ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණය කරන්නේ ඇමැතිතුමාමයි කියලයි අපිට හිතෙන්නේ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon