මොරොක්කෝව හා අරාබිය ඉවතට

  👤  3720 readers have read this article !
By mawbima 2018-06-22

මොස්කව් නුවර ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති 'බී' කාණ්ඩයේ තරගයකදී පෘතුගාලය හමුවේ මොරොක්කෝවට ගෝල 1-0ක පරාජයක් උරුම වීමත් සමඟ මෙවර ලෝක කුසලානයෙන් ඉවතට යන දෙවන කණ්ඩායම බවට පත්වන්නට මොරොක්කෝවට සිදුවිය.

තරගය ආරම්භ වී විනාඩි හතරක් ගතවන විට පෘතුගාලය වෙනුවෙන් ගෝලයක් ලබාගන්නට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වූ අතර 9 වැනි විනාඩියේදී යළිත් ක්‍රියාත්මක වූ රොනාල්ඩෝ ගෝලයක් වාර්තා කිරීමට උත්සාහයක් දැරුවත් එය ව්‍යර්ථ විය. පළමු භාගය පෘතුගාලය 1-0ක් ලෙස පෙරමුණ ගත්තද දෙවැනි භාගයේදී කිසිදු ගෝලයක් වාර්තා නොවිණි. තරගයේ වාර්තා වූ එකම ගෝලයේ හිමිකරුවා වූ රොනාල්ඩෝ සටහන් කළ එම ගෝලය ඔහු වාර්තා කළ 85 වැනි ජාත්‍යන්තර ගෝලය ලෙසද සටහන් විය.

තවද 'ඒ' කාණ්ඩයේ කණ්ඩායම් වන උරුගුවේ හා සෞදි අරාබිය අතර පැවැති තරගයෙන් ගෝල 1-0ක ජයක් උරුගුවේ කණ්ඩායමට හිමිවීමත් සමඟ ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් 16 තරග වටයට සුදුසුකම් ලබාගන්නට ඔවුන් සමත් විය. රොස්ටොව් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති එම තරගයේ 23 වැනි විනාඩියේදී උරුගුවේ ක්‍රීඩක ලුවිස් සුවාරෙස් ගෝලයක් ලබාගැනීමට සමත් වූ අතර එය ඔහුගේ 52 වැනි ජාත්‍යන්තර ගෝලය ලෙස සටහන් විය. එම පරාජයත් සමඟ මෙවර ලෝක කුසලානයෙන් ඉවතට යන තෙවැනි කණ්ඩායම බවට පත්වූයේ සෞදි අරාබියයි.

මේ අතර කසාන් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති ස්පාඤ්ඤ-ඉරාන තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කළ ස්පාඤ්ඤය මෙවර තරගාවලියේදී ඔවුන් ලබාගත් පළමු ජයග්‍රහණය වාර්තා කළේය. තරගයේ පළමු අර්ධය ගෝල රහිතව නිමා වුවත් 54 වැනි විනාඩියේදී ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝලයක් ලබාගන්නට ඩියේගෝ කොස්ටා සමත් විය. 62 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරන්නට ඉරාන කණ්ඩායම සමත් වුවත් එම කණ්ඩායමේ ක්‍රීඩකයන් නිසි ලෙස ස්ථාන ගතව නොසිටි බවට විනිසුරු තීරණය කිරීමත් සමඟ එම ගෝලය අවලංගු විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon