හෙට තරගයටත් චන්දිමාල්ගේ බලාපොරොත්තු අත්හැර නැහැ

  👤  3792 readers have read this article !
By mawbima 2018-06-22

මෙතෙක් පැවැති ටෙස්ට් තරග දෙකක් අවසානයේදී ශ්‍රී ලංකාවට ලැබෙන්නට තවත් දෙයක් ඉතිරිව නොමැති තරමටම සිදුකළ සියලු දේ ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව ඇති තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසයේ තම දෙවැනි දිවා-රාත්‍රි ටෙස්ට් තරගයට හෙට (23දා) සිට මෙහි කිංස්ටල් ඕවල් ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.

එනම් මෙහි වේලාවෙන් සෙනසුරාදා (23දා) පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය මෙම දෙරට අතර පැවැත්වෙන ප්‍රථම දිවා-රාත්‍රි ටෙස්ට් තරගය ලෙස වාර්තා වන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සත්කාරකත්වය දරන ප්‍රථම දිවා-රාත්‍රි ටෙස්ට් තරගය ලෙසද ඉතිහාසයට එක් වනු ඇත.

එවන් තත්ත්වයක් තුළ අතීත සාධකයන් අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියද වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී ඇති කාරණා සලකා බැලූ විට සත්කාරක කොදෙව් පිල යම් ප්‍රමාණයකින් ශාරීරික හා මානසික මට්ටමින් ශ්‍රී ලංකා පිලට වඩා පියවරක් ඉදිරියෙන් සිටිනු ඇතැයි සිතිය හැකිය. එයට හේතුව කොදෙව්වෝ මේ වන විටත් ටෙස්ට් තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින නිසා පමණක් නොව පසුගිය වසරේ ප්‍රථම ශ්‍රී ලංකා දිවා-රාත්‍රි ටෙස්ට් තරගය මෙහෙයවා පාකිස්තානයට එරෙහිව ජයග්‍රහණයක් ලබා දුන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට හෙට තරගය අහිමි කර ඇති තත්ත්වයක්ද මතුවී ඇති නිසාය. එසේම මෙවර ටෙස්ට් තරගාවලියේදීද නායකයකු ලෙස පමණක් නොව පිතිකරුවකු ලෙසද සාර්ථක වී සිටින චන්දිමාල් ශ්‍රී ලංකා පිලට හෙට ආරම්භ වන තරගයේදී අහිමි වීම දැඩි ලෙස බලපෑමක් කරවන අතර ඔහුගේ හිඩැස පිරවීම සඳහා බොහෝ විට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට එක්වීමට ඉඩ ඇත.

කෙසේ වෙතත් වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත තණ තීරුවකදී මෙම 3 වැනි තරගයද පැවැත්වෙන බැවින් රංගන හේරත් යළි කණ්ඩායමට එක්වන්නේ නම් එය අකිල ධනංජය සඳහා වන ආදේශකයක් විය හැකි වන අතර මෙම රටෙහි කරන ලද පසු ගිය වසරේ ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායමේ තරග සංචාරයේදී ඉහළ දස්කම් අතර සිටි හේතුව නිසාම පසුව හෝ මෙහි ගෙන්වා කණ්ඩායමට එක් කළ දසුන් ශානකටද හෙට තරගයේදී අවස්ථාවක් ලැබීමේ ඉඩක් ඇත. එසේ වුවහොත් එය මහේල උඩවත්ත වෙනුවට කරන ලද වෙනසක් වනු ඇතැයි පැවැසෙන අතර පසු ගිය 2 වැනි ටෙස්ට් තරගය තම මංගල ටෙස්ට් තරගය කර ගත් කසුන් රාජිතගේ දස්කම් හෙට ඇරැ‍ෙඔන ටෙස්ට් තරගය සඳහාත් ස්ථානය රැකගැනීමට ප්‍රමාණවත් විය හැකිය. ශ්‍රී ලංකාව පැත්තෙන් කුමන වෙනස්කම් සිදු කළද ප්‍රතිවාදීන්ගේ පැත්තෙන් සිටිනා ප්‍රධාන කරදරකාරයා වන ශෙනොන් ගේබි්‍රයල්ගෙන් ලැබෙන තර්ජනයට පිළියම් සොයා ගතහොත් තරගාවලිය සම කර ගැනීමට අවස්ථාව උදාකර ගතහැකි වනු ඇත.

කෙසේ වෙතත් හෙට තරගයට දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා නොකළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වත්මන් උප නායක සුරංග ලක්මාල්ට පැවැරෙනු ඇතැයි දැන ගන්නට ඇත.

මේ අතර ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා කළමනාකරු අසංක ගුරුසිංහගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පිළිබඳව "මව්බිම" කළ විමසීමකදී ඔහු කියා සිටියේ චන්දිමාල්ට දුන් දඬුවමට එරෙහිව අයි.සී.සී.ය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් එහි ප්‍රතිඵලය ලැබෙන තෙක් නායකත්වයේ වෙනසක් ගැන තීරණයක් ගෙන නොමැති බවයි. සමහර විට එමඟින් යහපත් ප්‍රතිඵලයක් ලැබුණහොත් චන්දිමාල්ට කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව හිමිවනු ඇති බවටද විශ්වාසය පළ කළ ශ්‍රී ලංකා කළමනාකරුවා තවදුරටත් කියා සිටියේ ජාතික කණ්ඩායමට නව නායකයකු අවශ්‍ය වුවහොත් ඔහු තෝරා ගැනීමේ කටයුත්ත ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව විසින් සිදුකරනු ලබන බවයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon