පාර්ලිමේන්තු මන්ත්‍රි නිවෙසින් බෝට්ටු එන්ජින් සොරාගත් දෙදෙනාට ඇප

  👤  3791 readers have read this article !
By mawbima 2018-06-22

බළපිටිය - දම්සරී ලියනගේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් ද වාස් ගුණවර්ධන මහතාට අයත් කොස්ගොඩ පිහිටි නිවෙසින් රුපියල් පන් ලක්‍ෂ අනූදහසක් වටිනා (590,000) බෝට්ටු එන්ජින් 02ක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා පසුගියදා (19දා) කොස්ගොඩ පොලිසියට නියෝග කළේය.

සොයා ගැනීමට නොහැකිව ඇති ඉතිරි බෝට්ටු එන්ජිම සොයා ගන්නා ලෙසද වැඩිදුරටත් නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මීට අදාළ නඩුව නැවත ඔක්තෝබර් මස 03 වැනි දින කැඳවන බවත් එදින නඩුව විභාගයට ගන්නා බවත් දැනුම් දුන්නාය.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් පළමු සැකකරු ලක්‍ෂයක සහ දෙවැනි සැකකරු රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදාහැරීමටද බළපිටිය මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙසේ ඇපමත මුදාහැර ඇත්තේ මහලදුව, බළපිටිය ලිපිනයේ පදිංචි යකුපිටි සුනිල් ශාන්ත (48) සහ බළපිටිය, විජයාරාම පාරේ පදිංචි අගම්පොඩි රවීන් ප්‍රියාන් මෙන්ඩිස් (35) නමැති දෙදෙනාය. පළමු සැකකරු සොරකම සිදුකළේ යැයිද දෙවැනි සැකකරු සොරබඩු මිලදී ගෙන ළග තබාගත්තේ යැයිද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ නිවෙසේ අධීක්‍ෂණ කටයුතු සිදුකරන කදිරගොන්න, අහුන්ගල්ල ලිපිනයේ පදිංචි පතිරණගේ තරිඳු කුමාර (32) නමැති අය කොස්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එකක් රුපියල් 295,000ක් වන බෝට්ටු එන්ජින් 02ක් මෙසේ සොරකම් කර තිබෙන බව පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ කොස්ගොඩ පොලිසිය නිවෙසේ මුරකරු වන යකුපිටි සුනිල් ශාන්ත (48) නමැති අය සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමා බෝට්ටු එන්ජින් 02ක් සොරකම්කළ බව පිළිගෙන තිබේ. මෙයින් එක් එන්ජිමක් රුපියල් 10,000කට දෙවැනි සැකකරුට විකුණා තිබියදී කොස්ගොඩ පොලිසිය මඟින් සොයාගෙන තිබේ.

කොස්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පී.එම්. ඉරාන් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් රන්ජන් (21930) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon