බස්නාහිර සියලු තැපැල් සේවකයෝ අද දැවැන්ත උද්ඝෝෂණයක

  👤  3563 readers have read this article !
By mawbima 2018-06-21

බස්නාහිර පළාත පුරා විසිරී සිටින සියලුම තැපැල් සේවකයෝ අද (21දා) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු වටරවුමේදී දැවැන්ත උද්ඝෝෂණයක් අරඹන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු ඒ.ආර්. වර්ණකුලසූරිය පවසයි.

එහි මූලික අදියර ලෙස ඊයේ (20දා) මධ්‍යම තැපැල් හුවමාරුවේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළ බවත් ඊට තැපැල් හා විදුලි සන්දේශ නිලධාරීන්ගේ සංගමය පූර්ණ සහයෝගය දැක්වූ බවත් හෙතෙම පැවැසීය.

තැපැල්පතිවරයා ඇතුළු තැපැල් අමාත්‍යාංශය විසින් රජයේ මාධ්‍ය යොදා ගෙන තැපැල් සේවකයන්ගේ වෘත්තීය අරගලයට බලපෑම් සිදු කළද තැපැල් සේවකයන් අඛණ්ඩව වැඩ වර්ජනය දිගට සිදු කරන බවත් ආරම්භ කළ වැඩ වර්ජනය කිසිදු ලෙසකින් පාවා නොදෙන බවත් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් පවසයි.

පසුගිය 19 වැනි දින බේස්ලයින් උප තැපැල් කාර්යාලයට සහ කෝපියාවත්ත තැපැල් කාර්යාලයට, බොරැල්ල පොලිසියෙන් පැමිණ එහි රැඳී සිටින තැපැල් සේවකයන්ට තැපැල් කාර්යාල විවෘත කරන ලෙසට බලපෑම් සිදු කළ බවත්, ඊට වගකිව යුත්තේ තම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු පෙන්වා දෙයි.

එසේම රාජ්‍ය මාධ්‍ය මඟින් තැපැල් කාර්යාල විවෘත කර ඇතැයි යන්න ගෙනහැර දැක්වීමට රූප රාමු සහිතව පළකළ දර්ශන දැනට අවුරුදු කීපයකට ඉහතදී ලබා ගත් කැමරා දර්ශන බවත් පෙන්වා දෙන එම පෙරමුණ සඳහන් කරන්නේ එහි පෙනී සිටි සමහර සේවකයන් මේ වන විට මිය ගොස් ඇති බවයි.
රජයේ කිසිදු බලපෑමකට තැපැල් සේවකයන් යටත් නොවන බවත් රට පුරා දිස්ත්‍රික් මට්ටමින් දැවැන්ත විරෝධතා හෙට (22දා) සිට ආරම්භ කිරීමට නියමිත බවත් සංගම් පෙන්වා දෙයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon