මහින්දානන්දගේ නඩු විභාගයත් විනිසුරු කුලතුංගගෙන් ඉවතට

  👤  3822 readers have read this article !
By mawbima 2018-06-21

කමල් මහේන්ද්‍ර වීරරත්න

හිටපු ජනාධිපති ලේකම්වරයාට සිර දඬුවම් නියම කළ 'සිල් රෙදි බෙදා දීමේ' නඩුව විභාග කළ ගිහාන් කුලතුංග විනිසුරුවරයා හමුවේ තමාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවට යොමු කරන්නැයි ඉල්ලා සිටිමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කර තිබුණු
අභියාචනයක් පිළිගත් අභියාචනාධිකරණය එකී නඩුව වෙනත් සමාන්තර මහාධිකරණ විනිසුරුවරයකු හමුවේ විභාගයට යොමු කරන ලෙස කොළඹ මහාධිකරණයේ ලේඛකාධිකාරිවරයාට ඊයේ (20දා) නියෝග කළේය.

එකී තීන්දුව ප්‍රකාශ කරන ලද්දේ ජේ‍යෂ්ඨ අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ හා එස්. තුරෙයිරාජා යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.

අලුත්ගමගේ මන්ත්‍රිවරයාගේ අභියාචනා පෙත්සමෙන් ප්‍රකාශ වූයේ තමා වත්මන් රජය කරවන පක්ෂයට ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල චරිතයක් බවත් ගිහාන් කුලතුංග විනිසුරුවරයා විසින් ඉකුත් රජයේ ජනාධිපති ලේකම්වරයාට එරෙහිව වූ 'සිල් රෙදි බෙදාදීමේ' නඩුව විභාග කොට තීන්දුව දෙමින් නිකුත් කර ඇති නඩු තීන්දුවෙන් ප්‍රකාශ වී ඇති පරිදි එවකට පැවැති මහින්ද රාජපක්ෂ රජයේ දේශපාලනය ගැනත්, විත්තිකරුට ඇති දේශපාලන සබඳතාව ගැනත්, විශේෂ අවධානයක් යොමු කළ බව ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු හමුවේ තමාට එරෙහිව ඇති චෝදනාව විභාග කිරීම මඟින් තමාටද අගතියක් සිදුවිය හැකි බවට විශ්වාස කළ හැකි නිසා මෙම නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවට යොමු කරන ලෙසය.

මීට ඉහතදී ද මෙවැනිම වූ තවත් විශේෂ අභියාචනයක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරමින්, තමාට එරෙහිව 'දිවි නැඟුම' අරමුදල් අවභාවිත කරමින් 'ලිත් මුද්‍රණය කොට බෙදා හරින ලද යැයි නීතිපතිවරයා විසින් 2015දී පවරන ලද නඩුව ගිහාන් කුලතුංග විනිසුරුවරයා හමුවේ විභාග කිරීමෙන් තමාට අගතියක් වන බවට බරපතළ විශ්වාසයක් ඇති හෙයින් එකී නඩු විභාගය වෙනත් ඕනෑම මහාධිකරණ විනිසුරුවරයකු හමුවට යොමු කරන ලෙස ඉල්ලා සිටි අතර එම ඉල්ලීම බැලූ බැල්මටම සාධාරණ බව පෙනෙන්නේ යැයි ප්‍රකාශ කරමින් එකී ඉල්ලීම පරිදි එම නඩුව ගිහාන් කුලතුංග විනිසුරුවරයා හමුවේ විභාග කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
එකී නියෝගය නිකුත් කරන ලද්දේ අභියාචනාධිකරණ විනිසු එල්.ටී.බී. දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය විසිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ විසින් ගොනුකර තිබුණු අභියාචනා පෙත්සම විභාග කළ ජේ‍යෂ්ඨ අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ හා එස්. තුරෙයි රාජා යන ද්විපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (20දා) ඉහත තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ජේ‍යෂ්ඨ නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජේ‍යෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා අභියාචක අලුත්ගමගේ මන්ත්‍රිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වීය. නඩු විභාගයේදී පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ රජයට ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන් ජනතාව ඉදිරියේ පිරිහීමට පත්කිරීමත්, එම දේශපාලනඥයන් හිරේ විලංගුවේ දමා ඔවුන්ට හිංසා පීඩා සිදුකොට ඔවුන්ගෙන් පිළිගැනීමත්, අරමුණු කරගෙන වත්මන් රජය බලයට පත්වූ දින සිට නීතිපතිවරයා හරහා මෙවැනි නඩු පැවැරීම සිදු කරන බවත් සිල්මාතාවන්ට සිල් රෙදි බෙදාදීම පාදක කරගනිමින් හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහිව පවා නඩු පැවැරූ බවත් මෙම විනිසුරුවරයා එම නඩුවේ තීන්දුව දෙමින් ඔහුගේ දේශපාලන සබඳතාව ගැන විශේෂ අවධානයක් යොමු කළ බව තීන්දුවේම සඳහන් කොට ඇති බවත් කියා සිටියේය.

තවද මෑත කාලයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර මගඩියට ඍජුවම සම්බන්ධ පුද්ගලයන්ට හෝ එම පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණන් මුදල් ලබාගත් බවට නම් සඳහන් පුද්ගලයන්ට හෝ එරෙහිව නීතිපතිවරයා මෙතෙක් කිසිදු අධිචෝදනා පත්‍රයක් ගොනු කර නොමැති බවද එම නීතිඥවරයා වැඩිදුරටත් විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.
පෙත්සම්කාර අභියාචකගේ වාචකය වන ඔහුට එරෙහිව ඇති චෝදනා උක්ත විනිසුරුවරයා හමුවේ පැවැත්වුවහොත් තමාට අගතියක් සිදුවේය යන සැකය සාධාරණ බව පෙනී යන හෙයින් එම චෝදනා විභාගය එකී විනිසුරුවරයාගෙන් ඉවත් කොට වෙනත් සමාන්තර විනිසුරුවරයකු හමුවේ සිදු කිරීම යෝග්‍ය බවට නිගමනය කරන බවත් අභියාචනාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශ විය.

මෙම තීන්දුවේ පිටපතක් ගිහාන් කුලතුංග විනිසුරුවරයා වෙත යවන ලෙසටද විනිසුරු මඬුල්ල නියම කළේය.

මෙම අභියාචන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමේදී ජනාධිපති නීතිඥවරයා විසින් 'මව්බිම' පුවත් පතක්ද අදාළ ලේඛනයක් ලෙස සලකුණු කරමින් එහි පළකොට තිබූ කොළඹ මහාධිකරණය හමුවේ අලුත්ගමගේ මහතාට එරෙහිව ආරම්භ වූ උක්ත නඩු විභාගයේදී විනිසුරු කුලතුංග මහතා විසින් දිගින් දිගටම අවධාරණාත්මකව මතු කරන ලද ප්‍රශ්න කීපයක් හා සිදු කරන ලද ප්‍රකාශ කිහිපයක්ද විවෘත අධිකරණය හමුවේ කියැවීම නිසා විනිසුරුවරයාගේ පක්ෂග්‍රාහී ස්වරූපය හා අගතිගාමී බව එමඟින්ම මොනවට පැහැදිලි වන්නේ යැයි විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

මාධ්‍යක් වශයෙන් 'මව්බිම' පුවත්පත එඩිතරව එම කරුණු පළකිරීමත්, 'මව්බිම' ප්‍රවෘත්ති ලේඛකයා එම කරුණු එලෙසින්ම වාර්තා කිරීමත් ගැන තම බලවත් ප්‍රසාදය හා ප්‍රණාමයද පුද කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

නීතිපතිවරයා නියෝජනය කරමින් ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් දිගින් දිගටම කියා සිටියේ මෙලෙස විත්තිකරුවන්ට ඕනෑ ඕනෑ හැටියට විනිසුරුවරුන් මාරු කරන්නට ඉඩ දුනහොත් එය වැරැදි පූර්වා දර්ශයක් විය හැකි බවත් එසේ වුවහොත් නඩු විභාග පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවා උදාවිය හැකි බවත් එබැවින් එම ඉල්ලීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටින බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon