ආණ්ඩු පක්‍ෂයයි ඒකාබද්ධ විපක්‍ෂයයි එකතු වී ‘ව්‍යවස්ථාව’ උල්ලංඝනය කරනවා

  👤  3643 readers have read this article !
By mawbima 2018-06-21

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් ඔවුන්ගේ ඥාතීන්ගේ නම්වලට මෙන්ඩිස් සමාගමෙන් ඒජන්සි ලබාගෙන දැවැන්ත පොහොසතුන් බවට පත් වී තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පැවැසීය.

ආණ්ඩුව දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල් දමන බවත් මැතිවරණය කල් යෑමෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත හැකි යැයි විශ්වාස කරන ඒකාබද්ධ විපක්ෂය, මැතිවරණය කල් දැමීමෙන් සතුටු වන බවත් පැවැසූ කීර්ති තෙන්නකෝන් තවදුරටත් සඳහන් කළේ මෙම දෙපිරිසම එකතු වී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මහ පොළොව නුහුලන අපරාධයක් සිදු කරන බවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය රාජගිරියේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (20දා) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා

අපි අවුරුදු ගාණක් එක දිගට මේ බැඳුම්කර වංචාවට සම්බන්ධ ලේඛන, බැඳුම්කර වාර්තාවේ ඇමුණුම් ලේඛන ඉල්ලා සිටියා. අවාසනාවන්තම දේ තමයි මේ තරම් විශාල තොරතුරු සංඛ්‍යාවක් එළියට එනකොටත් ඒ බැඳුම්කර වාර්තාවේ තීරණාත්මක කරුණු කාරණා සඟවා තබාගන්නට ජනාධිපති ලේකම් කාර්යාලය දිගින් දිගටම කටයුතු කිරීම. පාර්ලිමේන්තුවට මේ ලේඛන දෙනවා කියලා කිව්වේ 2018 ජනවාරිවල. අද වෙනකොට මාස 6ක් ගත වෙලා ඉවරයි. අද වෙනකම් මේ ලේඛන එකක්වත් අපිට ලබා ගන්නට අවස්ථාව ලැබිලා නැහැ. එහෙම වුණා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මේ සිදුවෙලා තියෙන විනාශය, පාඩුව මීට පෙර කරළියට එනවා. මේ තොරතුරු සඟවා ගන්නට මේ රටේ පාලකයෝ සහ රාජ්‍ය නිලධාරීන් දරන උත්සාහය අපි රටේ ජනතාවට අනාවරණය කරන්න ඕනි.

ඒ වගේම තමයි පසුගිය දිනවල ශ්‍රී ලංකා මහ බැංකුව ලංකාවේ වාණිජ බැංකු 32කින් ඉල්ලලා තිබුණා මේ බැඳුම්කර වංචාවට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සහ මෙන්ඩිස් සමාගම්වල, බැංකු ගිණුම්වලින් සිදුකරපු චෙක්පත් පිළිබඳ වාර්තා. ඒ වාර්තාවන් පසුගිය බදාදා ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකුවකින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දීලා තිබුණා. නමුත් ඒ බැංකුවට ලැබිලා තිබුණ වාර්තාව, ඒ සී.ඩී. එක, ශ්‍රී ලංකා මහ බැංකුවට එන්න ඉස්සෙල්ලා තෙවැනි පාර්ශ්වයක අතට පත්වෙලා තියෙනවා. ඒ සීල් කරපු සී.ඩී. එකේ සීල් කඩලා ඒ සී.ඩී. පටය එළියට අරගෙන ඒ තොරතුරු වෙනත් කණ්ඩායමක් විසින් ලබාගෙන තියෙනවා. මේ පිළිබඳ විමර්ශනයක් අද වෙනකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ විගණන අංශය විසින් සිදු කරනවා. පසුගිය බදාදා සිදුවුණු මේ දේ මේ බැංකු අපරාධය සිදුකරනු පුද්ගලයන්ගේ අතට පත් වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව තුළ තවමත් මේ බැඳුම්කර වංචාවේ පාර්ශ්වකරුවන් යහතින් ඔවුන්ගේ කටයුතු කරමින් මේ විමර්ශන කඩාකප්පල් කරන්න කටයුතු කරනවා. වංචාකරුවන්ට, හොරුන්ට උදවු කරනවා.
ඒ වගේම තමයි ලංකාවේ අද වෙනකොට හඳුනාගෙන තියෙනවා මේ බැඳුම්කර වංචාවේ ඊපීඑෆ්, ඊටීඑෆ්, රක්ෂණ භාරය සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා සිදුවෙලා තියෙන පාඩුව රුපියල් බිලියන 8.7ක් කියලා.

ලංකාවේ ඡන්ද කල් දැමීමට උත්සාහ කරපු හැම අවස්ථාවකදීම මහා විනාශකාරී දේවල් රට තුළ සිදුවුණා. මේ ආණ්ඩුවට 2015 අගෝස්තුවල 2015 දෙසැම්බර්වල පළාත් පාලන ඡන්දය පවත්වන්නට බැරි වුණු එකේ ප්‍රතිඵලය වුණේ ඔවුන් අන්ත පරාජයක් ලබපු එක.

මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු තුන්දෙනෙක් නිශ්චිතවම ඔවුන්ගේ ඥාතීන්ගේ නම්වලට මෙන්ඩිස් සමාගමේ ඒජන්සි අරගෙන ඒ ඒජන්සිවලින් දැවැන්ත පෝසතුන් බවට පත් වෙලා තියෙනවා. රත්නපුර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මේ බැඳුම්කර වංචාව ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතත් කටයුතු කරපු පුද්ගලයන්ට අපි අභියෝග කරලා කියනවා මෙන්ඩිස් සමාගමේ ඒජන්සි ලබාගන්න ඒ දායකත්වය උදවු වුණා කියලා. මෙවැනි කරුණු හෙළිදරව් කරන්නට මේ සාක්ෂි තියෙන ලේඛන ටික එළියට නොදීම ඉතාමත්ම ඛේදජනක තත්ත්වයක්.

උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon