අනේ‍යාන්‍ය සහයෝගිතා පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් තුනක් ශේ‍ර්ෂ්ඨාධිකරණයට

  👤  3461 readers have read this article !
By mawbima 2018-06-21

කමල් මහේන්ද්‍ර වීරරත්න

ඉකුත් 5 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කොට ඇති අපරාධ නඩු කටයුතුවලදී අවශ්‍ය පුද්ගලයන් හුවමාරු කර ගැනීම සඳහා වූ අනේ‍යාන්‍ය සහයෝගිතා පනත් කෙටුම්පත' යුද විරුවන් ජාත්‍යන්තර අධිකරණයකට භාරදීම සඳහා සකසා ඇති එකක් බව පවසමින් ඊට එරෙහිව විශේෂ විමර්ශන පෙත්සම් තුනක් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.

මෙකී පනත් කෙටුම්පත සම්මත වුවහොත් මේ රටේ පුරා තිස් වසරක් තිස්සේ පැවැති කුරිරු යුද්ධය නිමා කිරීම සඳහා දිවි පරදුවට තබා සටන් වැදුණු 'රණවිරුවන්' හා ඊට නායකත්වය දුන් 'දේශපාලනඥයන්ද' ජාත්‍යන්තර අධිකරණයක් හමුවට පමුණුවා ඔවුන්ගේ ජීවිත විනාශ කර දැමීමට යුද්ධය නිමා කළ දින සිටම දෙමළ ඩයස්පෝරාවත් අධිරාජ්‍යවාදී විදෙස් බලවේගත් විසින් ගෙන ගිය කුරිරු වැඩපිළිවෙළ සාර්ථක වනු ඇතැයිද එම පෙත්සම් මඟින් ප්‍රකාශ කොට ඇත.

මෙම පෙත්සම් තුන ගොනු කොට ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම රණවිරුවන් සුරැකීමේ සන්ධානයේ සභාපතිවරයා වන නාවික හමුදාවේ හිටපු රියර් අද්මිරාල් සරත් වීරසේකර, ජාතික සංඝ සභාවේ ක්‍රියාකාරි පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි සහ ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක හා ප්‍රධාන ලේකම් යසස්වි කුමාරජිත් ධර්මදාස යන අයවලුන් විසිනි.

පොදු කරුණු මත පදනම්ව ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම් තුනෙන් මෙසේද ප්‍රකාශ කොට ඇත.

1978 දී සම්මත කොට දැනට සංශෝධිතව මෙම රට තුළ ක්‍රියාත්මක හා බලාත්මක වන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වැනි ආඥාව සමඟ කියැවෙන 121 වැනි ප්‍රධාන වගන්තිය ප්‍රකාරව, ව්‍යවස්ථා විරෝධීව හෝ එහි නීති ප්‍රතිපාදනයන්ට පටහැනිව හෝ රටටත් රටේ වාසය කරන ජනතාවටත් හානි කරවන පරිදි හෝ සිදුවන යම් අකටයුත්තක් වේ නම් ඊට ප්‍රතිකර්ම යෙදීම සඳහා වූ උත්තරීතර ආයතනය වන ශේ‍ර්ෂ්ඨාධිකරණය වෙත මෙම අකටයුත්ත පැමිණිලි කර සිටිමු.

රටේ ස්වෛරීභාවයටත් රට වැසියන්ගේ ආරක්ෂාවටත්, භෞමික අඛණ්ඩතාවටත් ඍජුවම බලපෑමක් සිදුවන ආකාරයෙන් බෙදුම්වාදී අරමුණ ඉටුකර ගැනීමට අන්තවාදී කණ්ඩායම්වලට හැකිවන පරිදි කෙටුම්පත් කොට ඇති මෙම පනත් කෙටුම්පත මඟින් සිදුවන පිරිමැසිය නොහැකි හානිය වළක්වාලීමට ගරු ශේ‍ර්ෂ්ඨාධිකරණයේ ඍජු මැදිහත්වීම හැරෙන්නට අන් කිසිදු මඟක් ජනතාවට ඉතිරිව නැත.

2002 අංක 25 දරන අපරාධ නඩු කටයුතුවලදී අනේ‍යාන්‍ය සහයෝගිතාව පිළිබඳ පනතට' සංශෝධන සිදු කිරීම සඳහා රජය ඉදිරිපත් කොට ඇති 'සංශෝධන පනත් කෙටුම්පත' මඟින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත වගන්තීන් උල්ලංඝනය වෙයි.

එනම්, මෙකී යෝජිත පනත් කෙටුම් පතෙහි 1,2,3, 4,5,6,7,8,9,10,11,12,13,14,15,16,17,18,19,20,21 හා 22 යන උප වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4,12(1),12(2),75 හා 154(ජී) යන වගන්තීන් හා අනනුකූල වන අතර එමඟින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය වේ.

තවද මෙම උප වගන්තීන් සම්මත වුවහොත් 'ජීනීවා සමුළුව' සම්මත කොට ඇති 1994 අංක 22 දරන පනතේත්, 2006 අංක 4 දරන පනතේත්, 2018 අංක 5 දරන පනතේත්, විධිවිධානවලට ශ්‍රී ලංකා පුරවැසියන් යටත්වන අතර එමඟින් ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකු රණවිරුවකු හෝ දේශපාලනඥයකු හෝ ඔවුන් ඉලක්ක කරනු ලබන යම් පුද්ගලයකු ඔවුන් විසින් නම් කරනු ලබන ඕනෑම රටක පිහිටි ජාත්‍යන්තර අධිකරණයක් හමුවට කැඳවා දඬුවම් ලබාදීමට නීති ප්‍රතිපාදන සැලැසේ.

කරුණු එලෙසින් එතරම්ම බරපතළ වන හෙයින් එකී කරුණු පිළිබඳව පෙත්සම් මඟින් හා ඉහත නීතිඥ මණ්ඩල මඟින් ඉදිරිපත් කරනු ලබන කරුණු විමසා බලන මෙකී අති භයානක පනත් කෙටුම්පත සරල බහුතරයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම නීත්‍යනුකූල නොවන බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිමු.

තවද එය සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්ථාවේදී නොපැමිණ සිටින මන්ත්‍රිවරුන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රි සංඛ්‍යාව වන 225 දෙනාගෙන් 2/3ක (තුනෙන් දෙකක) බහුතර කැමැත්ත හා ඉන් අනතුරුව ජනමත විචාරණයක් පවත්වා එහිදී රටේ බහුතර ඡන්ද දායකයන්ගේ අනුමැතියෙන්ද පමණක් මිස සම්මත නොකළ හැකි බවට ප්‍රකාශයක්ද නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමු.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon