ඇලෝසියස්ගේ පිටරට රූමතියන් තෑගි ලෙස ලද මන්ත්‍රිවරුන් හෙළිකරන්නැයි ඉල්ලයි

  👤  3912 readers have read this article !
By mawbima 2018-06-21

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් සැලකිය යුතු කාලයක් ක්‍රියාකිරීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි වූ එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණට ඊයේ (20දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ජනතා නියෝජිතයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමි විය.

විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් බුද්ධික පතිරණට හිමි වූයේ දැඩි උණුසුම්කාරී සුබ පැතුම් වීම විශේෂ සිද්ධියකි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ පිහිටි පුස්තකාලයට ඇතුළු වන ආලින්දයේ බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා සිටින විට ඔහුට මුලින්ම සුබ පැතුවේ පාර්ලිමේන්තුවේ විවාද වාර්තා කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන්ය.

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් බුද්ධික පතිරණ දිවුරුම් දුන්නේ අඟහරුවාදා සවස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේය.
එම දිවුරුම්දීම සිදු කෙරුණේ පැජන්ට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදීය.

දහසක් බාධක මධ්‍යයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගත්තද එම දිවුරුම් දීමේ අවස්ථාවේ සිදු වූ අකරතැබ්බයක් බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදීන්ට විස්තර කරන ලදී.

දිවුරුම් දීම සිදු කිරීම නියමිතව තිබුණේ අඟහරුවාදා සවස 5.30ටය.
ටිකක් කල් වේලා ඇතිව ගිය බුද්ධික පතිරණ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සමඟ කතාබස් කරමින් සිටියේය.

"ඔබතුමා ඉල්ලපුම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති ධුරය තමයි දීලා තියෙන්නේ' යනුවෙන් ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කෙළේය.

බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා දිවුරුම් දීමට නියමිත පත්වීමේ ලිපිය කියවන්නට වූ අතර එහි තිබෙන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැකීමෙන් බුද්ධික පතිරණට තරු පෙනෙන්නට විය.
බුද්ධික පතිරණ පැමිණියේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමටය. නමුත් දැන් ඔහුගේ අතට පත්කර තිබෙන්නේ නගර සැලැසුම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධුරයයි.

මං කිසිම නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් නම් කරලා ඉල්ලුවේ නැහැ. නමුත් මට අමාත්‍යාංශයේ ලේකම්වරයා මගේ නිලධාරීන්ට කතා කරලා තිබුණු නිසා තමයි කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය මට හිමිවෙයි කියලා හිතුවේ.' බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා තමාට හිමි වී තිබෙන අලකලංචිය විස්තර කළේය.

මේ වන විට දිවුරුම් දීමට නියමිත වේලාවද ක්‍රම ක්‍රමයෙන් ආසන්න වෙමින් තිබුණු අතර එම දිවුරුම් දීමේ අවස්ථාවෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට තවත් රාජකාරි කටයුත්තකට යෑමට නියමිතව තිබිණි.

දැනට නගර සැලැසුම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පසුව එය වෙනස් කරගත හැකි බව ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
නමුත් බුද්ධික පතිරණ ඊට එකඟ වී නැත.

දෙනවා නම් මට නියමිත නියෝජ්‍ය අමාත්‍ය ධුරය දෙන්න. නැත්නම් එපා. මං යන්නම්. අවුරුදු 3 1/2 ක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරකු වශයෙන් හිටපු මට තව අවුරුදු 1 1/2ක් මන්ත්‍රිවරයකු වශයෙන්ම තවදුරටත් සිටීම ගැටලුවක් නෙවෙයි' යනුවෙන් බුද්ධික පතිරණ විසින් ජනාධිපති ලේකම්වරයාට ප්‍රකාශ කරන ලදී.

නියෝජ්‍ය අමාත්‍ය ධුරය මෙසේ මාරුවීමට හේතුව විපරම් කිරීමේදී දැනගන්නට ලැබී ඇත්තේ බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාට හිමි නියෝජ්‍ය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ලිපි දෙකක් ජනාධිපති ලේකම්වරයාට ලැබී තිබෙන බවයි.

පළමු ලිපිය එවා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසිනි.

මීට පෙර දිවුරුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනාගේ ලේඛනය සමඟ බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාගේ නමද සඳහන් කරමින් ඔහු කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයට නම් කරමින් ලිපිය එවා තිබුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසිනි.

එම අවස්ථාවේදී බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් නොදුන් අතර ඊට ටික දිනකට පසුව සමන් ඒකනායක අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා නගර සැලැසුම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධුරයට නිර්දේශ කරමින් ලිපියක් එවා තිබිණි.

මෙම ලිපි දෙක ගැන බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා සහ ජනාධිපති ලේකම්වරයා සාකච්ඡා කළ අතර අගමැතිවරයාගේ ලියුමට අදාළව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා එකඟ විය.

මීට පෙර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාද ජනාධිපති ලේකම්වරයාට ප්‍රකාශ කර තිබුණේ බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා කැමැති නියෝජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දෙන ලෙසයි.

දිවුරුම් දීමේ ලිපිය කඩිනමින් වෙනස් කිරීමට මේ අනුව තීරණය කෙරිණි. එම ලිපිය සැකසිය යුත්තේ කොටුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. නගර සැලැසුම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධුරය වෙනුවට කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය සඳහන් කරමින් දිවුරුම් දීමේ ලිපිය සකස් කිරීමෙන් අනතුරුව එම ලිපිය කඩිනමින් පැජන්ට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවෙසට කඩිනම්ව ගෙන්වා ගැනීමට කටයුතු කළේ පොලිස් යතුරුපැදියක් ද යොදා ගනිමිනි. පොලිස් යතුරුපැදිය පෙරටුකොටගෙන පත්වීම් ලිපිය වාහනයකින් කඩිනමින් ගෙන්වා ගෙන තිබිණි.

මට තව පොඩ්ඩෙන් නගර සැලැසුම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලැබුණා නම් මාර වැඩක් තමයි වෙන්නේ. මාතරට තවම නළ ජලය නිවැරැදිව ලැබෙන්නේ නැහැ. එම ජල ව්‍යාපෘතිවල වැඩ අවසන් වෙනකොට 2021 විතර වේවි. මාත් මාතර ගෙදර ඉන්නකොට නාලා සබන් ගාගෙන වතුර නැතිව බලාගෙන ඉඳලා තියෙනවා. පැයක් වතුර ආවොත් ඊළඟ පැයේ වතුර එන්නේ නැහැ.' යනුවෙන් බුද්ධික පතිරණ කළ කතාවට සියල්ලෝම සිනහසුණහ.

ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම, බුද්ධික පතිරණට උණුසුම් සුබ පැතීමක් එක් කෙළේය.

'ඔබතුමාගේ නීත්‍යනුකූල බිරියගේ ගමේ කෙනකු විදියට මට සුබ පැතීම ගැන මං සතුටු වෙනවා' යනුවෙන් බුද්ධික පතිරණ දැක්වූ ප්‍රතිචාරයට කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා මහ හයියෙන් සිනහසුණේය.

ඉන් පසුව පැමිණියේ බන්දුල ගුණවර්ධන, දයාසිරි ජයසේකර මන්ත්‍රිවරුන්ය. ඔවුන් දෙදෙනාත් බුද්ධික පතිරණට සිය සුබ පැතුම් එක් කළහ.

'උඹට දැන් ප්‍රශ්න අහන්න බැහැ. දැන් අපි අහන ප්‍රශ්නවලට උත්තර දීපන්' දයාසිරි ජයසේකර සුබ පතමින් ප්‍රකාශ කෙළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම විසින් ඉතා උණුසුම් ආකාරයෙන් බුද්ධික පතිරණ වැලඳගෙන සුබ පතන ලදී.

'අපි දෙන්නාගේ සමානකම් 10ක් තියෙනවා. නියෝජ්‍ය ඇමැතිකම දෙන්නටම ලැබුණේ බෝට්ටුවෙන්. ඒක නිසා 11 වැනි සමානකමත් දෙන්නටම තියෙනවා' යනුවෙන් බුද්ධික පතිරණගේ කරට අත දාගෙන ඩලස් අලහප්පෙරුම සිනහසෙමින් ප්‍රකාශ කෙළේය.
පාර්ලිමේන්තුව ඊයේ (20දා) දින රැස්වූයේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙනි.

'ඇලෝසියස්' මාතෘකාව ඊයේ දිනයේත් මැතිසබයේ කතා විය.

'ඇලෝසියස්' කතාව ඊයේ දින මුලින්ම කරළියට ගෙනාවේ ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුමය.

'ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත්තු 118ට අමතරව ඇලෝසියස්ගෙන් තව තව වාසි ලබාගත් මන්ත්‍රිවරුනුත් මේ මැතිසබයේ ඉන්නවා කියලා රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා ඊයේ ප්‍රකාශ කළා. මුදල්වලට අමතරව ගෙවල් ‍ෙදාරවල් පමණක් නෙවෙයි, රුසියානු රූමතියන් පවා ගත්තු මන්ත්‍රිවරුනුත් ඉන්නවා කියලා රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා. මේ ප්‍රකාශයන් සමඟ සියලුම පාර්ලිමේන්තු නියෝජිතයන් බරපතළ තත්ත්වයකට මුහුණපාලා තියෙනවා. ඒක නිසා නම් වහාම හෙළිකරන්න කියලා කථානායකවරයාගෙන් අපි ඉල්ලීමක් කළා. මෙහෙම ගියොත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට තමන්ගේ දරුවා තාත්තා කියලා කියන එකකුත් නැහැ. ඒක නිසා නියම චෞරයන් හෙළිකරන්න' යනුවෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා මුලසුනෙන් ඉල්ලීමක් කළේය.

මීට පිළිතුරු දීමට නැඟී සිටියේ පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය.

118ක් ගැන ලේඛනයක් නැහැ. ඒක කථානායකතුමාත් කියලා තියෙනවා. මේ 118 කතාව මුලින්ම කිව්වේ දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමා. එතුමාට චෝදනාවක් එල්ල වුණාම එතුමා තව 118ක් මුදල් ගත්තා කියලා කිව්වා. එතකොට මේ 118 නාම ලේඛනය තියෙන්නේ කොහේද?' ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විමසීය.

'මේ ගැන මාධ්‍යයේ ඇති වෙනකම්ම කතා වෙනවා. ඒක නිසා හංගන්න එපා' ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

'හංගන්න දෙයක් නැහැ' ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසුවේය.

'ඇලෝසියස්ගේ කතා නිසා පාර්ලිමේන්තුවේ සියලුම දෙනා හෑල්ලු වෙලා' ඩලස් අලහප්පෙරුම කියා සිටියේය.

118ක් ගැන කතා කරලා අපිම අපේ වටිනාකම නැති කරගන්නවා' ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

මේ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඊයේ මැතිසබයේදී සිදුවිය.

ලක් සතොස විනාශවෙමින් යන බවත් එය වහාම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා ඉල්ලීමක් කළේය.

කුරුණෑගල පිහිටි සතොස බෙදාහැරීමේ මධ්‍යස්ථානය වසා දමලා. මේ නිසා විශාල පිරිසකට රැකියා අහිමි වෙලා' දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.'
'කුරුණෑගල ඉන්න හොරු නිසායි එහෙම වෙලා තියෙන්නේ' රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

'කුරුණෑගල හොරු නැහැ. දැන් බඩු බෙදන පෞද්ගලික සමාගම තමයි හොරකම් කරන්නේ' දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා ප්‍රකාශ කෙළේය.

'වැලිසරින් පමණක් බඩු බෙදාහැරීම කරලා මේක කරන්න බැහැ' දයාසිරි ජයසේකර පැවැසීය.

'සමහර ප්‍රදේශවල හොරු ඉන්නවා. කාලකණ්ණි තමයි සතොස වහලා දැම්මේ. සතොස විනාශ කරලා උන් හම්බකරගත්තා' රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon