නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දුම් කවුළුවලින් අළු පිටවීමෙන් ගම්මාන හතරක ජනතාව අසීරුවේ

  👤  3457 readers have read this article !
By mawbima 2018-06-21

මොනරාගල - සංජීව බණ්ඩාර

නොරොච්චෝල විදුලි බලාගාරයේ දුම් කවුළු තුළින් ඊයේ (19දා) පස්වරු 3.15 - 3.45 අතර කාලයේ දැවැන්ත අළු වර්ෂාවක් පිටතට පැමිණීමත් සමඟම ප්‍රදේශයේ ගම්මාන 4ක ජනතාව දැඩි පීඩාවකට ලක් වූ බව කැෆේ සංවිධානය පවසයි.

එහි අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ ගල්අඟුරු අළු ප්‍රදේශයේ පැතිර යෑම නිසා බලාගාරය අසල වගා බිම්, නිවාස ඇතුළු සෑම තැනම අළුවලින් වැසී ගොස් ඇති බවයි.

මේ තත්ත්වය පිළිබඳව ජනතාව විසින් නොරොච්චෝලේ බලාගාරයේ පාලන අධිකාරියට පැමිණිලි කිරීමෙන් පසුව බලාගාරයේ යන්ත්‍ර කඩිනමින් අක්‍රිය කොට යන්ත්‍රයේ බෙල්ට් එකේ ඇති වූ තාක්ෂණික ගැටලුවක් නිසා මෙම තත්ත්වය ඇති වූ බවත් කඩිනමින් එය ප්‍රතිසංස්කරණය කරන බවත් බලධාරීන් ගම්වාසීන්ට පොරොන්දු වී තිබෙන බවත්ය. පසුගිය මාස කිහිපයේ අවස්ථා 8 කදී බලාගාරයේ විවිධ කාර්මික දෝෂ වාර්තා වූ බවත් මේ වන විට විශාල වශයෙන් බලාගාරයේ අළු දෛනිකව මුහුදට මුදාහරිමින් සිටින බවත් පවසන කැෆේ සංවිධානය, බලාගාරයේ අපද්‍රව්‍ය මුහුදට එක් කිරීම නිසා විශාල සමුද්‍ර දූෂණයක්ද සිදුකරන බවට චෝදනා කරයි.

මේ වන විට නොරොච්චෝල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ අවම වශයෙන් පරිසර බලපත්‍රයක් හෝ නොමැතිව බවත්, විදුලිබල මණ්ඩලය ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නිර්දේශ 28න් කිසිවක් මේ දක්වා ක්‍රියාත්මක කර නැති බවත් මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කඳවා තිබූ රැස්වීම ද දින නියමයක් නොමැතිව කල් දැමීමට විදුලි බලධාරීන් පසුගිය සතියේ කටයුතු කර තිබුණු බවත් කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

මෙවැනි තත්ත්වයක් යටතේ රු. 7.40ක මුදලකට විදුලි ඒකකයක් නිෂ්පාදනය කළ හැකි බවට සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් නොරොච්චෝල ප්‍රදේශයේ තවත් ගල්අඟුරු බලාගාරයක් ඇරඹීමට විදුලි ඉන්ජිනේරුවරුන් සූදානම් වන බවද ඒ මහතා චෝදනා කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon