නැවක ගැටීමෙන් බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට

  👤  3664 readers have read this article !
By mawbima 2018-06-21

තංගල්ල - සහම්පති මානගේ

නිල්වැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා පිටත්වූ බහුදින ධීවර යාත්‍රාවක් නැවක ගැටීම නිසා අනතුරට ලක්වූ බව එම යාත්‍රාවේ සිටි ධීවරයෝ පවසති.

අනතුරට ලක්ව ඇත්තේ නිල්වැල්ල ධීවර වරායෙන් පසුගිය 15 දින ධීවරයන් පස්දෙනකු සමඟ පිටත්ව ගිය නඳුන් පුතා බහුදින ධීවර යාත්‍රාවයි. නිල්වැල්ල ධීවර යාත්‍රාවේ සිට නාවික සැතපුම් සීයක් පමණ දුරින් බහුදින ධීවර යාත්‍රාව නැංගුරම්ලා තිබියදී ඉකුත් 18 දින රාත්‍රි 12.55ට පමණ නැවක ගැටීම නිසා ධීවර යාත්‍රාව අනතුරට ලක්ව තිබේ.

අනතුරින් යාත්‍රාවේ සිටි ධීවරයන්ට කිසිදු හානියක් සිදුව නොමැති අතර ධීවර යාත්‍රාවට අලාභ සිදුව තිබේ. අනතුරට ලක්වූ ධීවර යාත්‍රාව ඊයේ (20දා) උදෑසන 9.30ට පමණ නිල්වැල්ල ධීවර වරාය වෙත ළඟා විය.

ධීවර යාත්‍රාව අනතුරට ලක්වන විට යාත්‍රාවේ ගමන් කර ඇත්තේ කොට්ටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන උපුල් ප්‍රසන්න (37), ලුණුකළපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මංජුල ප්‍රසාද් (38), තිළිණ මධුශංක (24), දික්වැල්ල, මාලියද්ද ප්‍රදේශයේ පදිංචි තිලංග උදසික (35), දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි අරූෂ අසංග (43) නම් ධීවරයන් පස්දෙනෙකි.

ලුණුකළපුව ප්‍රදේශයේ පදිංචි මංජුල ප්‍රසාද් මහතා මෙසේ පැවැසීය.

අපි මේ මාසේ 15 වැනි දින නිල්වැල්ල ධීවර වරායෙන් පිටත් වුණේ. අපි කට්ටිය එක එක්කෙනා ඩියුටි ඉන්න ඕන එක එක අවස්ථාවන්වලදී. අන්තිමට හිටිය කෙනා අපිට තේ හදලා දීලා තේ ගොටුවේ තිබුණු කහට ටික විසිකරන්න ගියාම නැවක් එනවා දැකලා කෑගහගෙන ඇතුළට දුවගෙන ආවා. අපි හොඳටම කලබල වුණා ඒ වෙලාවේදී. ස්කීපර් ඉක්මනට ඇඳෙන් පැනලා බෝට්ටුව පොඩ්ඩක් එහාට ගත්තා. නැව එතකොට වදින ගානටම ඇවිල්ලා තිබුණේ. නැව අපේ බෝට්ටුවේ මුල්ලෙන් වද්දගෙන ගියා. පස්සේ අපි බලන කොට බෝට්ටුව උඩින් වතුර දානවා. අපිට කරගන්න දෙයක් නැති වුණා. පස්සේ අපි කිට්ටුව තිබුණු වෙන බෝට්ටුවකට කිව්වා මේ සිද්ධිය.

ළඟ තිබුණු බෝට්ටුවේ තිබුණා ඒ.අයි.එස්. කියලා උපකරණයක්. නැවේ අයිතිය, අයිති සමාගම, නැවේ නම වගේ සියලුම විස්තර ඒ උපකරණයෙන් බලන්න පුළුවන්. අපි ඒ විස්තර ටික ගත්තා ඒ උපකරණයෙන්. අපි ඒ විස්තර බෝට්ටු හිමිකරුට ලබා දුන්නා. ධ්ඹ්ධ්ඒ කියලා ඒ නැවේ නම තිබුණේ. 2018.07.01 වැනිදා රාත්‍රි 7.00 වෙනකොට ලයිබීරියාව බලා ඒ නැව ළඟා වෙනවා කියලයි පෙන්නුම් කළේ. අපි මේ ගැන දික්වැල්ල පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා.

අපිට දැන් ධීවර කටයුතු කරගන්න විදියක් නැහැ. අපි අනතුරට ලක්වුණාට පස්සේ නැවත වරායට ආවා. අපිට මාළු අල්ලගන්නත් බැරිවුණා. සාමාන්‍යයෙන් අපි දවස් තිහක් වගේ මුහුදෙ ඉන්නවා. නමුත් අපි අනතුරට ලක්වුණු නිසා කලින්ම එන්න වුණා. අපිට මාළු දෙන්නයි අල්ලගන්න පුළුවන් වුණේ. රුපියල් ලක්‍ෂ පහක් වගේ අපිට වියදම් වෙනවා එක් ගමනකට. අපිට ගොඩක් පාඩුයි මේ නිසා.

බෝට්ටුවේ වටිනාකමට සමානම වගේ අලාභයක් තියෙනවා අනතුරට ලක්වුණු නිසා. බෝට්ටුවේ උඩින් පේන්නෙ නැති වුණාට යටින් ගොඩක් කැඩිලා තියෙන්නේ. අපිට බෝට්ටුව හදලා දෙනකල්ම අපිට ඉන්න වෙනවා. අපේ මූලික ආදායම් මාර්ගය ධීවර කර්මාන්තය. අපි කවුරුත් දරු පවුල්කාරයෝ. ඒ සියලු දෙනා ජීවත් වෙන්නේ අපි හොයාගෙන එන මුදලින්. මේ සිද්ධිය නිසා අපිට මාස කීයක් ඉන්න වෙයිද කියන්න දන්නේ නෑ. අපිට මේ අනතුර නිසා සිදුවුණු පාඩුවට නැව් සමාගමෙන් හරි අපිට වන්දියක් අරන් දෙන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon