තිස්දහසක අල්ලසක් ගත්් ජනපද නිලධාරි ඇතුළට

  👤  3542 readers have read this article !
By mawbima 2018-06-21

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

ඉඩම් බලපත්‍රයක් සකස් කරදීම සඳහා රුපියල් තිස්දහසක අල්ලසක් ගත් අවස්ථාවේ අත්අඩංගුවට ගත් ජනපද නිලධාරියකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 26 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසට කන්තලේ මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තුසිත දම්මික උඩුව විධාන මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව අග්බෝපුර ජනපද නිලධාරි කාර්යාලයේ සේවයේ නියුතු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතු ජනපද නිලධාරියකු වන සැකකරු කුඹුරු අක්කර තුනක් සඳහා ඉඩම් බලපත්‍රයක් සකස් කරදීමට ගොවියකුගෙන් රුපියල් තිස්දහසක අල්ලස් මුදලක් ඉල්ලා තිබිණි.

අල්ලස් ගන්නා අවස්ථාවේ කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වැටලීම් ඒකකයේ නිලධාරීහු සමත්වූහ.

වැටලීම් නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව සැකකරු ලබන 26 වැනිදා කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය බන්ධනාගාර අධිකාරිවරයාට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon