ලංකා විදුලිබල සමාගමේ ඉන්ජිනේරු අංශ ප්‍රධානි ගැන වෘත්තීය සමිතිවලින් චෝදනා ගොන්නක්

  👤  3529 readers have read this article !
By mawbima 2018-06-21

හර්ෂනී අර්සකුලරත්න

ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ ප්‍රධාන ඉන්ජිනේරු අංශ ප්‍රධානි සිය අධිකාරි බලය පාවිච්චි කරමින් 2006 වසරේ සිට මේ දක්වා සිදු කරමින් පවතින අත්තනෝමතික ක්‍රියා
පිළිවෙත හමුවේ සමාගම තුළ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සිදුවීම ඇතුළු ගැටලු රැසක් උද්ගත වී ඇතැයි ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ වෘත්තීය සමිති එකමුතුව චෝදනා නඟයි.

එම ප්‍රධාන ඉන්ජිනේරුවරයාගේ මැදිහත් වීමෙන් වසර ගණනාවක සිට එම ආයතනය තුළ සිදු වෙමින් පවතින දූෂණ හා වංචා පිළිබඳ අල්ලස් හෝ
දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කිහිප වරක් පැමිණිලි කොට ඇති අතර මේ වනතුරු ඒ සඳහා කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවද ඔවුහු පැවැසූහ.

මේ පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය හේතුවෙන් සිය සමාගමට සිදුවූ සහ සිදුවෙමින් පවතින හානිය පිළිබඳ කඩිනම් පරීක්‍ෂණයක් සිදුකොට ඒ සඳහා වගකිව යුතු සියලු පාර්ශ්ව වෙත නීත්‍යනුකූලව කටයුතු කරන ලෙසත් සමාගම ආරක්‍ෂා කර දෙන ලෙසත් ඉල්ලා පසුගියදා (19දා) එම වෘත්තීය සමිති එකමුතුව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය සමඟ සාකච්ඡාවක්ද පවත්වා ඇත.

මේ බලධාරියා යටතේ 2006 වසරේ සිට සිදුවූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ මෙන්ම මේ වනවිටත් සමාගම තුළ සිදුවෙමින් පවතින අක්‍රමිකතා පිළිබඳව ද එහිදී ඇමැතිවරයා දැනුවත් කර තිබේ.

මේ වනවිට සමාගම තුළ දියත් කර ඇති අසාර්ථක ව්‍යාපෘති මඟින් සමාගම් මුදල් අයථා ලෙස අවභාවිත වන බවත් පිරිවිතරයට අනුකූල නොවූ මිලදී ගැනීම් හා අනෙකුත් මිලදී ගැනීම් තුළින්ද සමාගමේ මුදල් මහා පරිමාණයෙන් නාස්ති වන බවත් ඔවුන් ඇමැතිවරයාට දන්වා ඇත.

මේ ක්‍රියා කලාපය හමුවේ එම ආයතනය තුළ මේ වනවිට අත්තනෝමතික ලෙස සිදු කරන විදේශ සංචාර, අවිධිමත් බඳවා ගැනීම් හා උසස් වීම් ලබාදීම, සමාගම් දේපළ අනිසි ලෙස පරිහරණය කිරීම, කම්කරු කොමසාරිස්වරයා ලබාදුන් තීරණ ක්‍රියාත්මක නොකිරීම, ආයතනය විධිමත් විගණනයකට යටත් නොකිරීම හා ආයතන අභ්‍යන්තර විගණනය නොසලකා හැරීම මෙන්ම ඉදිරි විදුලි අවශ්‍යතා සඳහා නිසි සැලැස්මක් හා ක්‍රමවේදයක් නොමැති වීම ඇතුළු පැන නැඟී ඇති ගැටලු රැසක් පිළිබඳවද ඇමැතිවරයා දැනුවත් කළ බව එම වෘත්තීය සමිති එකමුතුව පැවැසීය.

මේ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එම සමාගමේ වෘත්තීය සමිති දැඩි අවධානයෙන් පසුවන බවද ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon