අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කිව්වට ලැබෙන්නේ 1.22%ක් විතරයි: ඒ මුදලෙත් අක්‍රමිකතා රැසක්

  👤  3478 readers have read this article !
By mawbima 2018-06-21

ඇටම්පිටිය - රත්න වීරසිංහ

රටේ අධ්‍යාපනය සඳහා දළ ජාතික ආදායමෙන් සියයට 6ක මුදලක් වෙන් කරන බව පැවැසුවද තාමත් වෙන් කරන්නේ සියයට 1.22ක් පමණක් වන අතර ඒ මුදලින් ද විශාල අක්‍රමිකතා සිදු වූ විට රටේ අධ්‍යාපනය දියුණු වන්නේ කෙසේ දැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රශ්න කරයි.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දූෂිත තත්ත්වය පිළිබ¼දව විගණකාධිපතිවරයා හෙළිකර තිබූ කරුණු සම්බන්ධයේ පෙරේදා (19දා) සවස හාලිඇළ විදුර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ස්ටාලින් මහතා මෙසේ පැවැසීය.

වර්ෂ 2017 දී විගණකාධිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය ගැන කළ විගණනයෙන් හෙළි වූ කරුණු සම්බන්ධයෙන් මේ වන තුරු කිසිම පිළිතුරක් නෑ.

පසුගිය ආණ්ඩුව කාලේ පාසල් 1000ක් ද්විතියීක පාසල් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා. ඒ සඳහා පාසල් තෝරා ගත්තේ මන්ත්‍රිවරුන්ට ඕනෑ විදිහටයි.

"ළඟම පාසල හො¼දම පාසල" ව්‍යාපෘතියට පාසල් 7000ක් තෝරා ගත්තා. ඒ බොහෝමයක් තෝර ගත්තේ මන්ත්‍රිවරුන්ගේ ලියුම්වලට. නිවැරදි සංගණනයකින් තෝරා ගත් පාසල් මැති ඇමැතිවරුන්ගේ වුවමනාවට වෙනස් වෙනවා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට 2017 වර්ෂය සඳහා රුපියල් මිලියන 27,750ක් වෙන් කළා. ඒත් 2017 සැප්තැම්බර් 30 වන විට වියදම් කර තිබුණේ මිලියන 11,303යි. ඉතිරි මුදලට වෙච්ච දෙයක් නෑ.

ජාතික අයවැයෙන් 2017 වසරට ටැබ් පරිගණක ගන්න රුපියල් මිලියන 5000ක් වෙන් කළා. ඒත් මේ සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දූෂිත බව නිසා ඒ ව්‍යාපෘතිය අතර මඟ නැවතුණා. ඒ වෙන් කළ මුදලට මොකද වුණේ? 2017 පාසල් පෙළ පොත් ලබා දෙන්න අයවැයෙන් රුපියල් මිලියන 4385ක් වෙන් කළා. පසුව ආණ්ඩුව තීරණය කළා නියමිත ප්‍රමාණයෙන් සියයට 50ක් පමණක් පෙළ පොත් අලුතින් මුද්‍රණය කරන්න. භාවිත කළ පරණ පොත් නැවතත් භාවිත කරන්න. එහෙනම් වෙන් කළ ඉතිරි මුදල කෝ? පාසල්වල වැසිකිළි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ඒවා ජලමුද්‍රිත වැසිකිළි. ඒ එකක් සඳහා ලක්‍ෂ 20ක් වෙන් කරනවා. ඒත් බොහෝ තැන්වල ඒවාට අවශ්‍ය ජලය නෑ. ඒ නිසා පාවිච්චි කරන්න බෑ. ඒ තත්ත්වය මත එම මුදල් විශාල වශයෙන් අපතේ ගියා.

විගණකාධිපති වාර්තාවේ පැහැදිලිව සඳහන් වන පරිදි යුනෙස්කෝ ආයතනයෙන් විදෙස් ආධාර මුදල් රුපියල් ලක්‍ෂ 82කට වැඩි මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දෙනවා විදුහල්පතිවරුන්ගේ අත්පොතක් ස¼දහා. ඒ මුදල් සියයට 84ක් ආපසු යවනවා කිසි දෙයක් නොකර. නිලධාරීන් පුහුණු කරන්න මිලියන 67ක් ලැබෙනවා. ඒ මුදලත් ආපහු යවලා. පාසල් නිල ඇඳුම් සඳහා 2016 වෙන් කළ මුදලින් රුපියල් ලක්‍ෂ 1464ක් බැංකු ගත කර නෑ.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිවැරැදි මූල්‍ය කළමනාකරණයක් නෑ. ආණ්ඩුව රටේ අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් සියයට 6ක මුදලක් වෙන් කරනවා කීවට තාමත් වෙන් කරන්නේ සියයට 1.22ක මුදලක් විතරයි. මේ මුදලිනුත් මේ වගේ දූෂණ අක්‍රමිකතා සිදුවෙනකොට කොහොමද රටේ අධ්‍යාපනය දියුණු වෙන්නේ. රටේ නිදහස් අධ්‍යාපනයක් තියෙනවා කීවත් මේ වගේ අති විශාල දූෂණයන් නිසා දරුවාගේ අධ්‍යාපනයේ සම්පූර්ණ බර දැරීමට මවුපියන්ට සිදුව තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon