ජනපති කාර්යමණ්ඩල ප්‍රධානිගේ හා දැව සංස්ථා සභාපතිගේ කටහඬ පිරික්සන්න රස පරීක්ෂකට යොමු කරන්න

  👤  858 readers have read this article !
By mawbima 2018-06-20

කවින්ධ්‍යා පෙරේරා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමට දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැඟිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබා ගත් බව කියන ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාගේ කටහඬ ඔවුන්ගේමද යැයි පරීක්ෂා කිරීම සඳහා සැකකරුවන් ජුනි 29 වැනිදා රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (19දා) බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග කළේය.
සිද්ධියට අදාළ අල්ලස් කොමිසම විසින් ඉකුත් මැයි 22 වැනි දින කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය කරනු ලැබීය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා, ස්ථානාධිපති උසාවි ඒ.කේ. ප්‍රේමසිරි, පී. චන්ද්‍රසිරි, ඩී.එම්. බණ්ඩාර යන අය පෙනී සිටි අතර පළමු සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.

මෙම නඩුවේ පළමු වැනි සැකකරු වන ඉදිකැටියහේවගේ කුසුම්දාස මහනාම යන අය බේරුම්කාර උසාවියේ සාක්ෂිකරුවකු ලෙස ඔහුගේ නම යෝජනා වී තිබුණද මෙම නඩුව හේතුවෙන් ඔහු එම නඩුවෙන් ඉවත් කර ඇති බවට මුදල් අමාත්‍යාංශය විසින් අල්ලස් කොමිසමට දන්වා ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා අධිකරණයට දන්වා සිටියේය.

එසේම වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අල්ලස් කොමිසම අධිකරණයට සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව කන්තලේ සීනි සමාගමට අදාළ ලිපි ලේඛන ඉඩම් අමාත්‍යාංශය මඟින් ප්‍රාථමික අමාත්‍යාංශය වෙත යොමු කර තිබූ අතර පසුව අමාත්‍යාංශ සම්පත් වෙනස් වීම මත අමාත්‍යාංශ මඟින් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය වෙත ලිපි ලේඛන ගොනු කරන ලද බව අනාවරණය කරගත් බවය.

එසේම රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයෙන් කන්තලේ සීනි සමාගමට අදාළ ලිපි ලේඛන විමර්ශනය සඳහා ලබා ගැනීමට කටයුතු කළ බවත් එම ලිපි ලේඛන විමර්ශනය කර ලිපි ලේඛනවලට අදාළ විෂය සම්පත්වල රාජකාරි නියැළී සිටි නිලධාරීන් කොමිසම වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත් අල්ලස් කොමිසම අධිකරණයට සඳහන් කර සිටියේය.

කන්තලේ සීනි සමාගම එම්.ජී. ෂුගර් සමාගම වෙත පවරා දීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය මඟින් නිකුත් කර ඇති කැබිනට් පත්‍රිකාව විමර්ශනය සඳහා ලබා ගෙන ඇති අතර එම කැබිනට් පත්‍රිකාවන් සහ කෙටුම්පත් කරන ලද ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් විස්තර අවශ්‍ය වන බවත් මෙතෙක් එම විස්තර ඉඩම් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියත් එම කෙටුම්පත් කරන ලද ලේඛන හෝ සකස් කරන ලද නිලධාරීන්ගේ විස්තර මෙතෙක් ඉඩම් අමාත්‍යාංශය මඟින් ලබා ගැනීමට නොහැකි වූ බවත් කොමිසම අධිකරණයට සඳහන් කර සිටියේය.

එසේම මෙම නඩුවේ සැකකරුවන් වෙනුවෙන් ලබාදීමට නියමිත ඇප නියෝග ලබන ජුනි 26 වැනිදා ප්‍රකාශ කරන බවට සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ආචාර්ය ඉදිකැටියහේවගේ කුසුම්දාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයවලුන් තවදුරටත් එදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon