විදුලිබල මණ්ඩල නිලධාරීන් පශ්චාත් උපාධිධාරීන්ට කම්කරු තනතුරු දීමෙන් ඔවුන් පීඩාවට පත්වෙලා

  👤  3108 readers have read this article !
By mawbima 2018-06-19

ලුණුවිල - රෝස් කොලින්

ලංකා විදුලිබල මණ්ඩලයේ බලධාරීන් විසින් එම මණ්ඩලයේ සේවයේ නියුතු පශ්චාත් උපාධිධාරීන් පිරිසකට කාර්යාල කාර්ය සහායක හා කම්කරු වැනි තනතුරු පිරිනමා තිබීම හේතුවෙන් ඔවුන් බලවත් මානසික පීඩාවකට පත්ව ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට සාධාරණය ඉටුකර සුදුසු තනතුරු පිරිනමන ලෙස ලංකා විදුලිබල මණ්ඩල විධායක නොවන ශේ්‍රණිගත උපාධිධාරීන්ගේ සංගමයේ ලේකම් හර්ෂ රාමනායක මහතා අවධාරණය කරයි.

යහපාලන රජයේ ප්‍රධානියා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රටේ බුද්ධිමතුන්ගේ සේවය රටට මෙතෙක් නොලැබී තිබීම සම්බන්ධයෙන් හා බුද්ධි ගලනය පිළිබඳ අවස්ථා කීපයකදී ප්‍රකාශ කර සිටියද තම සංගමයේ ඉල්ලීම්වලට විදුලිබල මණ්ඩලයේ බලධාරීන් මෙතෙක් කන් දී නොතිබීම ඔවුන්ව සමාජයෙන් කොන් කර දැමීමක් හා රජය අපහසුතාවට පත්කිරීමක් බවද ඔහු පෙන්වා දෙයි.

නිදහස් අධ්‍යාපනය තුළින් හා රජයේ වියදමින් මෙම උපාධිය ලබාගන්නට වාසනාව ලැබී ඇත්තේ රටේ මුළු මහත් දරුවන්ගෙන් ඉතාම සීමිත පිරිසකට බවත්, ඔවුනට එම උපාධියේ ගෞරවයත් ආරක්‍ෂා කරගන්නට ඉඩනොදී ඔවුන්ව කාර්යාල කාර්ය සහායක, ආරක්‍ෂක, කම්බි මාර්ගකරු, කර්මාන්ත ශිල්පි, පාරිභෝගික සම්බන්ධීකාරක හා රියැදුරු වැනි කම්කරු සේවය හා බැඳුණු සුළු රැකියාවල නිරත කරවමින් ඔවුන්ගේ මනස අවුල් සහගත තත්ත්වයට පත්කර තිබීම බලවත් කනගාටුවට හේතුවන අතර එය විදුලිබල මණ්ඩලයටත් පවතින රජයේ කීර්ති නාමයටත් බලවත් කැළලක්ව ඇතැයි එම සංගමය පවසයි.

මේ වන විට මෙවැනි සුළු රැකියාවල නිරතව සිටින 150කට ආසන්න උපාධිධාරීන් සම්බන්ධයෙන් තම සංගමය විසින් පාලනාධිකාරිය දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2015 මැයි 05 දින පංචපුද්ගල කමිටුවක් පත් කිරීමට සාමාන්‍යාධිකාරිවරයා කටයුතු කළත් දැන් එම කමිටු නිර්දේශය පසෙකලා 2018 ජනවාරි මස නැවත කමිටුවක් පත්කර තිබීම විහිළුවට කරුණක් සේම විසඳුම් දිගදුර යැවීමක් බවද එම සංගමය පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon