කරන්දෙණිය උප සභාපති ඝාතනයේ සැකකරු 20 දක්වා රිමාන්ඩ්

  👤  3191 readers have read this article !
By mawbima 2018-06-19

බළපිටිය - දම්සරී ලියනගේ

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව උෟරගස්මංහන්දිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ජුනි මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇල්පිටිය වැඩබලන මහෙස්ත්‍රාත් දුමින්ද ලේල්වල මහතා පෙරේදා (17දා) නියෝග කළේය.

සැකකරු ඉකුත් සෙනසුරාදා (16දා) ඇල්පිටිය වැඩබලන මහෙස්ත්‍රාත් ජනක රුවන්පුර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙරේදා (17දා) දිනය දක්වා උෟරගස්මංහන්දිය පොලිසිය භාරයේ තබාගෙන තවදුරටත් විමර්ශනය කිරීමට රැඳවුම් නියෝග ලබාදී තිබිණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ විහාරගොඩ, වතුගෙදර ලිපිනයේ පදිංචි මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර (28) නමැත්තාය.
උෟරගස්මංහන්දිය පොලිසියට ලද තොරතුරක් මත සැකකරු කහව, වේරගොඩ ප්‍රදේශයේ නිවෙසක සැඟවී සිටියදී ඉකුත් සිකුරාදා (15දා) අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් වෙඩිතැබීම සිදුකරන ලද බවට පිළිගෙන තිබේ.

වෙඩි තැබූ ටී-56 ගිනි අවිය වෙනත් අයකුට ලබාදුන් බවද සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. එම ගිනිඅවිය සොයා ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වන බව උෟරගස්මංහන්දිය පොලිසිය කියයි. සැකකරු කලක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටි සෙබළකු බවත් ඔහු මේ වනවිට යුද්ධ හමුදාවෙන් පලාවිත් සිටින බවත් පොලිසිය කියයි.

උෟරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක කේ. ජී. සොයිසා, පොලිස් සැරයන් ධනපාල (28634) යන නිලධාරීන් සැකකරු උසාවියට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon