ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව වේයන්ගොඩ විරෝධතා

  👤  3193 readers have read this article !
By mawbima 2018-06-19

වේයන්ගොඩ - ඉන්දික තුෂාර

සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර කුටිය තුළදී චීවරය ඉවත් කිරීමට එරෙහිව ගිහි - පැවිදි විශාල පිරිසක් ඊයේ (18දා) පස්වරුවේ වේයන්ගොඩදී දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නියැළුණහ. එහිදී දුම්රිය ගමනාගමනයට සහ කටුනායක නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට දැඩි බාධා එල්ල විය.

"නීතිය සිංහල බෞද්ධයාට පමණද?, බුද්ධ නීතියෙන් බැඳුණු බුද්ධ පුත්‍රයකුට සුද්දගේ නීතියෙන් පහර දෙන්නට ඉඩ නොදෙනු" ලෙස සඳහන් විරෝධතා පුවරු රැගෙන භික්ෂුන් වහන්සේ ඇතුළු විරෝධතාකරුවන් වේයන්ගොඩ, වටද්දර ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ සිට කටුනායක, නිට්ටඹුව ප්‍රධාන මාර්ගය ඔස්සේ කටුනායක දෙසට වූ ධාවන තීරුව අවහිර කරමින් වේයන්ගොඩ නගරය දක්වා පා ගමනින් පැමිණියහ.

දුම්රිය හරස් මාර්ගය අසල ඇති බෝධීන් වහන්සේ ඉදිරිපිටදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් බෝධි පූජාවක්ද පැවැත්විණි. අනතුරුව විරෝධතාකරුවන් දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැළුණහ. එහිදී කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය කළ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක්, කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් සහ පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය කළ මන්දගාමී දුම්රියක් පැය භාගයක පමණ කාලයක් නතර කර තැබීමට සිදුවිය.

වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව සිල්වා මහතා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට පැමිණ දුම්රිය මාර්ගයෙන් ඉවත් වී සාමකාමීව විරෝධතාව පවත්වන ලෙස දැනුම්දීමෙන් අනතුරුව භික්ෂුන් වහන්සේ දුම්රිය මාර්ගයේ සිට පිරිත් සජ්ජායනාවක් පවත්වා අනතුරුව දුම්රිය හරස් මාර්ගයෙන් ඉවත් වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon