20න් අවස්ථාව ලැබෙන්නේ මහින්දට මිස රනිල්ට නොවෙයි

  👤  3401 readers have read this article !
By mawbima 2018-06-19

දේශප්‍රේමීන් යැයි කියා ගන්නා විමල් වීරවංශ ඇතුළු පිරිසක් විධායක ජනාධිපති ක්‍රමයේ ආරක්‍ෂකයන් බවට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය.

ශිෂ්ටත්වය වෙනුවෙන් සම්මත කළ යුතු විසිවැනි සංශෝධනය යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් විද්වත් සංසදය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කෙළේය.

මෙම සම්මන්ත්‍රණය අනුරාධපුර සතිපොළ අසල ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.

දැනට සති දෙකක තුනක කාලයක ඉඳලා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ රට තුළ ලොකු කතා බහක් ඇතිවෙලා තියෙනවා. මේ වන විට අපේ රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. රටේ ආර්ථිකය කඩා වැටීම හේතු කොටගෙන සෑම ක්‍ෂේත්‍රයක්ම අර්බුදයට ගිහින් තිබෙනවා. ජනතාවට ජීවත්වීමේ අර්බුදයක් මතුවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවන්ට රැකියාවක් සොයා ගැනීමේ ගැටලු මතුවෙලා තියෙනවා. ඒ වගේ නෙළා ගත් අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා.

ඒ අතරම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අලුත් කතිකාවක් වුවමනා වෙලා තියෙනවා. සමහර අය අහනවා මේ ප්‍රශ්න ඔක්කොම තියෙන වෙලාවක ඇයි මේ විස්ස වගේ එකක් ගැන කතා කරන්නේ කියලා. ප්‍රශ්න ඔක්කොම ඉවර වූ දවසක විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරන්න හිටියොත් ඒ පිළිබඳ කවදාවත් කතා කරන්න ලැබෙන්නේ නෑ. ඒ ප්‍රශ්නත් තිබියදීත් ඒ සඳහාත් ක්‍රියාකාරීව මැදිහත් වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්ඡාවකුත් අපට රටට ගේන්න ඕන වෙලා තියෙනවා. ඒ අරමුණින් තමයි අපි මේ සාකච්ඡාව ආරම්භ කරලා තියෙන්නේ.

විධායක ජනාධිපති බලය කියන එක ජේ.ආර්.ගේ ඔළුවේ ඇති වෙච්ච හිතළුවක් නෙවෙයි. ජේ.ආර්.ගේ ඒ කාලය වන විට අපේ රටේ ආර්ථිකය කඩා වැටීමට ලක්වෙලා තිබුණා. ඒ වගේම බලවත් රාජ්‍යයක් ආර්ථික වශයෙන් කඩා වැටීමට ලක්වෙලා තිබුණා. අපි වැනි රාජ්‍යකට ඇමෙරිකා එක්සත් ජනපදය අපේ රටේ වෙළෙඳපෙළක් විවෘත කරන්න කියලා න්‍යාය පත්‍රයක් හදලා දුන්නා.

ජේ.ආර්. 1977දී බලයට එන්නේ ඔන්න ඔය ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික වුවමනාව ඉටු කරන්න. වෙළෙඳපොළ විවෘත කරන්න පාර්ලිමේන්තු ක්‍රමවේදයක් හරහා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න නම් අසීමිත බලයක් ඕනෑ. ඒ බලය තමයි ජේ.ආර්. ජනාධිපතිවරයා හදන්නේ.

අද අපේ රටේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන හැරවුම් ලක්‍ෂ්‍යය 1977. ඒක කවුරුත් පිළිගන්නෑ. වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කරමින් යන ආර්ථික ගමනට විරුද්ධව නැඟී සිටි 1980 ජූලි වැඩවර්ජකයෝ එක් ලක්‍ෂ දාහතරදාහක් රැකියාවලින් නෙරපා හැරියා, ජේ.ආර්.ගේ ආර්ථික ගමන යන්න.

ජේ.ආර්.ට පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් දිගටම තියාගන්න ඕනෑ වුණා. ඒ සඳහා මන්ත්‍රිවරුන්ගේ ඉල්ලා අස්වීමේ දින රහිත ලිපි අරගෙන සාක්කුවේ තියා ගත්තා.

5/6 බලය දීර්ඝ කර ගැනීමට ජනමත විචාරණය අවශ්‍ය වුණා. ඊට පස්සේ ඊට එරෙහිව නැඟී සිටින සාහිත්‍යධරයන්ට පහර දුන්නා. ඊට පස්සේ 83 කළු ජූලිය හදලා ඒකට එරෙහි වන දේශපාලන පක්‍ෂ තහනම් කළා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා.
මේ බලය ගන්නේ මොකටද අර කොල්ලකාරී ආර්ථිකය අපේ රටට තල්ලු කරන්න. ඒ නිසා අර විධායක බලය අපේ රටේ නිර්මාණය වෙන්නේ අධිරාජ්‍යවාදී වුවමනාවට. මම විමල් වීරවංශට කිව්වා ජේ.ආර්.ගේ පිළිරුව ළඟ මල් කලඹක් තියන්න කියලා. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, අධිකරණය කියන ආයතන තුනටම ඉහළින් තමයි මේ විධායක ජනාධිපති ධුරය පිහිටෙව්වේ.

චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලේ මනෝ තිත්තවැල්ල, බාලපටබැඳි, තාරාද මෙල් යන අය තමයි ආණ්ඩුව පාලනය කළේ. මහින්දගේ ආණ්ඩුව කාලේ රට පාලනය කළේ බැසිල්, ලලිත් වීරතුංග, ගෝඨාභය, නාමල් ඇතුළු පවුල.
ලංකාවේ ප්‍රථමවතාවට බැංකුවක සභාපති කෙනෙක් අගවිනිසුරු කරලා අධිකරණයට විශාල බලපෑමක් ඇති කළා. ජනාධිපති බලතල අනුව අධිකරණයෙන් වැරැදිකරුවන් වූ අයට සමාව දෙන්න පුළුවනි. එසේ කරන්නේ වැරැදිකරුවන් වූ අය නිවැරැදිකරුවන් බවට ඔප්පු වුණොත් අධිකරණයෙන් සමාව ලබාගත නොහැකි අවස්ථාවක පමණක් ජනාධිපති පොදු සමාව ලබාදීම සිදු කරනවා. එහෙත් මෙයාලා දේශපාලන හේතූන් මත අපරාධකාරයන්ට, වංචාකාරයන්ට තමයි ජනාධිපති බලය යොදලා පොදු සමාව දීලා තියෙන්නේ.

ජනතාව කියන්නේ හමුදාව උතුරෙන් ඉවත් කරන්න කියලා නෙවෙයි. අපේ ඉඩම් නිවාස ලබාදෙන්න කියලා. මේ යුද්ධය ඇති කළේ විධායක බලයයි. ලංකාවේ සියලුම ජනතාව විරුද්ධ වෙද්දී විධායක බලය යොදාගෙන ඇඳිරි නීතිය දාලා පාරට බැස්ස ජනතාව 148 දෙනෙක් මරලා දාලා ජේ.ආර්. 1987 ඉන්දු- ලංකා ගිවිසුම අස්සන් කළා. විධායක බලතල යොදාගෙන උතුර, නැඟෙනහිර ඒකාබද්ධ කළේ අවුරුද්දක තාවකාලික පදනම මතයි.

2006දී මහින්ද මහත්තයා ජනාධිපති ලෙස පත්වූ පසු ජනතා විමුක්ති පෙරමුණ අපි අධිකරණයට ගිහිල්ලා නඩුවක් දාලා එහි ප්‍රතිඵලය අනුව තමයි උතුර නැඟෙනහිර වෙන්කර ගත්තේ. සමහරු කියනවා අපි විසි වැනි සංශෝධනය ගෙන එන්නේ රනිල් වික්‍රමසිංහට විධායක බලතල සහිත අගමැතිකම ලබාදෙන්න කියලා. නමුත් විසිවැනි සංශෝධනය සම්මත වූ පසු අගමැතිතුමාට මාස හතකට පෙර තනතුරින් ඉවත් වෙන්න වෙනවා. එවිට මහින්ද මහත්තයාට චාන්ස් එක එනවා. එයාට කවදාවත් නැවත ජනාධිපති වෙන්න බෑ. නමුත් 20 සම්මත වූ පසු ඔහුට අගමැති වෙන්න පුළුවනි. එතකොට එයා තමයි රජයේ නායකයා. එතකොට රනිල්ට නෙවෙයි මහින්දට තමයි මේකෙන් අවස්ථාවක් ලැබෙන්නේ.

සුරතල්ලු වගේ මහින්දව ළඟ තියාගෙන ඉන්නවා. ගෝඨාභය ජනාධිපතිවරණයට තරග කරනවා කියලා කියනවා. එයාගේ අයියා රට පාලනය කළා. ඒ විදියටම තමයි එයා ආවත් කරන්නේ.

ජේ.ආර්. මහත්තයා අවුරුදු 12ක් රට පාලනය කළා. නමුත් රටට ලබාදුන්න දෙයක් නෑ. ප්‍රේමදාස මහත්තයත් ආර්ථිකය හදනවා කියලා ආවා. ඒත් අන්තිමට කරපු දෙයක් නෑ. පසුව චන්ද්‍රිකා සාමය ඇති කරමින් ආර්ථිකය හදනවා කියලා ආවා. ඒත් කරගන්න බැරි වුණා. ඊළඟට මහින්ද ආවා. ගැමි සුන්දර ආර්ථිකයක් හදනවා කිව්වා. අවුරුදු දහයක් තුළ රට විනාශ කරලා ගියා. ඊට පස්සේ මෛත්‍රි ආවා. යහපාලනය ගෙනත් මනුෂ්‍යත්වය ඇති රාජ්‍යයක් හදනවා කිව්වා. ඒත් තාම නෑ.

ජනාධිපති ක්‍රමය රටට විනාශයක්. මෙය නැති කරලා ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන්න අපි ක්‍රියා කරන්න ඕන. ඒ සඳහා කවුරු කර ඇරියත් ජනතා විමුක්ති පෙරමුණේ අපි ඔබලා සමඟ එකතුවෙලා මේ සටන ජයග්‍රහණය කරන තුරු රැගෙන යන බවට ප්‍රකාශ කරනවා.

අනුරාධපුරය - එරන්ද ශෂිප්‍රිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon