අපයෝජනයට ලක්වූ දරුවා සැකකාර පොලිස් කොස්තාපල් පෙරෙට්ටුවේදී හඳුනා ගනී

  👤  3259 readers have read this article !
By mawbima 2018-06-19

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

වැලිඔය පොලිසියේ අත්අඩංගුවේ සිටි 15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවකු වැලිඔය පොලිස් ස්ථානය තුළදී බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටි පොලිස් කොස්තාපල්වරයා හඳුනා ගැනීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී අපයෝජනයට ලක් වූ දරුවා සමත් විය.

පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා 20 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් මනෝජ් ප්‍රභාකරන් මහතා මෙතෙක් කලක් පරිවාස භාරයට පත් කර සිටි අපයෝජනයට ලක් වූ බව කියන 15 හැවිරිදි පිරිමි දරුවා ඔහුගේ ලොකු අම්මට භාර දෙන ලෙසටද තවදුරටත් නියෝග කළේය.

මෙලෙස තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් වූයේ වැලිඔය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා අපයෝජනයට ලක්වූ බව කියන දින රාත්‍රියේ මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැලිඔය පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු ලෙස සේවය කර ඇති බව පදවිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

මෙම දරුවා පරිවාස බලධාරීන්ට සහ අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියට සිද්ධිය පිළිබඳව මුල් ප්‍රකාශය ලබා දෙමින් පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මඟින් පසුගිය මැයි මස 8දා අත්අඩංගුවට ගත් බවයි.

එසේ අත්අඩංගුවට ගෙන පසු දින (9දා) පදවිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනතුරු තමා වැලිඔය පොලිසිය තුළ රඳවා තබා ගත් බවද ප්‍රකාශ කර ඇත. අපයෝජනයට ලක්වූ දරුවා එදින රාත්‍රියේ වැලිඔය පොලිසිය තුළ සිටියදී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු තමන් බරපතළ ලෙස අපයෝජනය කළ බවද සඳහන් කර ඇත. එලෙස තමන්ව අපයෝජනය කළේ වැලිඔය පොලිස් ස්ථානයේ එදින රාත්‍රියේ නිල ඇඳුමින් රාජකාරියේ යෙදී සිටි නිතර නිතර පොලිසියේ දුරකථනයට පිළිතුරු දෙමින් සිටි පොලිස් නිලධාරියා බවද දරුවා තවදුරටත් ප්‍රකාශ කොට තිබේ.

එසේ තමන් අපයෝජනය කළේ මෙම සිද්ධිය යමකුට කිව්වොත් වෙඩි තබා මරා දමන බවට තර්ජනය කරමින් බවද දරුවා තවදුරටත් විමර්ශන නිලධාරීන්ට සහ පරිවාස නිලධාරීන්ට කියා තිබේ.

සිද්ධිය පිළිබඳව දරුවාගෙන් දීර්ඝව ප්‍රකාශ සටහන් කරගෙන අනතුරුව දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ඉදිරිපත් කර ඇති අතර වෛද්‍ය පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා සනාථ කර ඇත්තේ දරුවා බරපතළ ලෙස අපයෝජනය කර ඇති බවටය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පැවැත්වූ සියලු විමර්ශනවල උද්ධෘත ඉදිරි කටයුතු සඳහා මේ වන විට මුලතිව් කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාට යොමු කරනු ලැබ තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස පොලිස්පතිවරයා උතුරු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු සහ උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිපැන්න යන මහත්වරුන්ට නියෝග කර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් මුලතිව් සහකාර පොලිස් අධිකාරි මයුර පෙරේරා සහ වැලිඔය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වෑත්තෑව යන මහත්වරුන් පෙනී සිටි අතර අපයෝජනයට ලක්ව ඇති දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයේ ස්ථාන භාර පරිවාස නිලධාරි සුසන්ත ඒකනායක මහතාගේ උපදෙස් මත පරිවාස නිලධාරි ධනුෂ්ක තිලකරත්න මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon