රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට වඩා සේවකයන් බඳවාගෙන වැටුප් ගෙව්වොත් වැඩ වරදී

  👤  44 readers have read this article !
By mawbima 2018-06-18

ජේ.ටී. ද සිල්වා, ආරියරත්න ගනේගොඩ

රාජ්‍ය ආයතනයන්හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම් භාරගත යුතුයි රජය තීරණය කර තිබේ.

එමෙන්ම, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සම්පූර්ණ රජය සතු සමාගම්වල අර්ථසාධක අරමුදල් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල වැනි ව්‍යවස්ථාපිත ගෙවීම් නිශ්චිත කාලය තුළ ගෙවීමද අදාළ ආයතන ප්‍රධානීන්ගේ වගකීම යැයි ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.

මේ වනවිට 7,500කට අධික සේවක සේවිකාවන් පිරිසක් රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට අමතරව විවිධ රැකියාවල නිරතව සිටින බව වාර්තා වී තිබේ.

රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පිළිබඳ 2017 වර්ෂයේ අවසන් කාර්තු වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී ඇමැති මණ්ඩලය විසින් මෙම තීරණවලට එළැඹිණි.

2017 වසර අවසානය වනවිට සමස්ත රාජ්‍ය අංශයේ රාජ්‍ය අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන, මෙන්ම රාජ්‍ය ව්‍යවසායකයන් සම්පූර්ණයෙන්ම රජය සතු ආයතන හා රාජ්‍ය බැංකුවල පුද්ගලයන් 1,375,499 දෙනකු සේවය කරන බව ගණනය කර තිබේ. 2017 වසර තුළ රාජ්‍ය සේවා බඳවා ගැනීම් 23,244ක් සිදුකර ඇති බව සඳහන්ය.

මේ අතර අදාළ වසර තුළ 5,000ක් පමණ සේවක පිරිසක් විශ්‍රාම ගොස් ඇති අතර විවිධ විනය හේතූන් මත 246 දෙනකු සේවයෙන් පහකර තිබේ.

රාජ්‍ය සේවයේ ජේ‍යෂ්ඨ විධායක මට්ටමේ තනතුරුවල වැඩි පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවත් අනාවරණය වී තිබේ. තනතුරේ උසස්වීම් ලැබීම සඳහා අවශ්‍ය වන සේවා කාලය සම්පූර්ණ කර ඇති නිලධාරීන්ගේ ප්‍රමාණය සීමිත වීම මෙයට ප්‍රධාන හේතුව බව කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

රාජ්‍ය අංශයේ සංවර්ධන නිලධාරී සේවයේ අනුමත තනතුරු 74,872ක් තිබෙන අතර දැනට 18,000කට ආසන්න තනතුරු සංඛ්‍යාවක් පුරප්පාඩුව පවතී. එහෙත් ඇතැම් ආයතනවල සංවර්ධන නිලධාරි සේවයේ නිලධාරීන්ට නිශ්චිත කාර්ය භාරයක් හෝ විෂයානුබද්ධ වැඩ පැවරුමක් සිදුකර නොමැති බව කාර්ය මණ්ඩල සමාලෝචනවලදී නිරීක්ෂණය වූ බව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පෙන්වා දෙයි.

ඉන්ජිනේරු තාක්ෂණ නිලධාරි හා කාර්මික නිලධාරි වැනි තාක්ෂණික අංශයේ තනතුරු පුරප්පාඩු විශාල ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ පැවතියද එවන් තනතුරු සඳහා පෞද්ගලික අංශයේ වැඩි වැටුප් ගෙවන බැවින් එවැනි තනතුරු සඳහා රාජ්‍ය අංශය වෙත අපේක්ෂකයන් යොමුකර ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇති බවද පෙන්වාදී තිබේ.

මේ අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද කාර්ය මණ්ඩල ප්‍රමාණය ඉක්මවා කාර්ය මණ්ඩල පවත්වා ගනිමින් වැටුප් සහ වේතන ගෙවනු ලබන ආයතනවල වැටුප් ගෙවීම්වලට අදාළ ගණකාධිකාරිවරුන් සහ ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් එම අනුමත නොවූ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon