ජනපති නියෝගයෙන් ෆොන්සේකාගේ අලි කුලප්පුව නවතී

  👤  3466 readers have read this article !
By mawbima 2018-06-18

මෙහෙයුම නතර කළත්, අලින්ගේ සහ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බව නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම අවධාරණය කළේය.
"අපි උත්සාහ ගත්තේ ඒ මෙම අලි දෙන්නා ආරක්ෂා කරල අරගෙන යෑමට" යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

අලි දෙදෙනා අල්ලන මෙහෙයුම ඊයේ දහවල් නවතා දැමූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

සිංහරාජ රක්ෂිතයේ සිටින අවසන් අලි දෙදෙනා ඇල්ලීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා (14දා) ලබාදුන් උපදෙස්ද නොතකා වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා විසින් එම අලින් දෙදෙනා අල්ලා ඉවත් කරන මෙහෙයුම ඊයේ පෙරවරුව වනතුරුම අඛණ්ඩව සිදුකර තිබිණි.

දැඩි වර්ෂාපතනය මධ්‍යයේ දින හතකට ආසන්න කාලයක් පුරා සිදුකළ මෙහෙයුම්වලින් අනතුරුව ඊයේ (17දා) පෙරවරුව වනවිට වනජීවී නිලධාරි කණ්ඩායම් කිහිපයක්ම අලි දෙදෙනා සිටින ස්ථානයට ළඟා වී තිබිණි.

වාහන සහ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවා තිබූ මෙහෙයුමට මේ වනවිට දෙපාර්තමේන්තුව විසින් රුපියල් ලක්‍ෂ ගණනක් වැය කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.

මේ අතර සිංහරාජයේ සිටින අලින් දෙදෙනා ඉවත් නොකරන ලෙසට උද්ඝෝෂණය කළ පිරිසක් සහ එම උද්ඝෝෂණයට විරුද්ධව ඉදිරිපත් වූ තවත් පිරිසක් අතර සිදුවූ ගැටුමක් හේතුවෙන් ඊයේ (17දා) සිංහරාජයට යාබදව පිහිටි රජවත්ත ප්‍රදේශය යුද පිටියක වෙස් ගත්තේය.

අලින් දෙදෙනා ඉවත් නොකරන ලෙස උද්ඝෝෂණය කළ පිරිසට එරෙහිව පිරිසක් පහර දී එළවා දමා තිබේ.

මේ අතර වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයකට අනුව අලින් දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම අත්හිටුවූ නිලධාරි කණ්ඩායමට ඉවත් වී යෑමට නොදී පිරිසක් විසින් ඔවුන් කොටු කරගෙන සිටින බවද වනජීවී නිලධාරීහු පවසති.

එම ප්‍රදේශයට පැමිණි 'සුරකිමු ශ්‍රී ලංකා' සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ව වාහනයෙන් එළියට ඇද පහරදීමටද පිරිසක් උත්සාහ දරා ඇති අතර එම පිරිස උන්වහන්සේ වැඩම කළ වාහනය පසුපසද යතුරුපැදි ගණනාවකින් හඹා ගොස් ඇතත් මහත් ආයාසයකින් පසුව උපද්‍රවයකින් තොරව ඉන් ගැලවී යෑමට උන්වහන්සේට හැකි වී ඇතැයි වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon