ගිනි අවියක් ගංජා මුදලාලිට විකුණූ සිවිල් ආරක්ෂක භටයා මාට්ටු

  👤  3567 readers have read this article !
By mawbima 2018-06-18

මොනරාගල - සංජීව බණ්ඩාර

2006 වසරේදී තණමල්විල පොලිස් ස්ථානයේ ආයුධ ගබඩාවේ තිබියදී අස්ථාන ගත වූ ටී - 56 වර්ගයේ ගිනි අවි 2ක් සම්බන්ධව අපරාධ

පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මේ එක් ගිනි අවියක් තණමල්විල ප්‍රදේශයේ ගංජා ව්‍යාපාරිකයකුට මුදලට විකුණා තිබූ හිටපු සිවිල් ආරක්ෂක භටයකු ඉකුත්දා සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිස විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකාර හිටපු සිවිල් ආරක්ෂක භටයා මොනරාගල වැදිකුඹුර වෙහෙරගල තෙලෙඹුවගල ප්‍රදේශයේ පදිංචි තිස් හය හැවිරිදි අයකු බව අනාවරණය වී ඇත.
මොහු 2006-2007 වසරේදී තණමල්විල පොලිසියට අනුයුක්තව සේවය කර ඇති අතර පොලිස් ස්ථානයේ ආයුධ ගබඩාව භාරව සිටි පොලිස් නිලධාරියාගේ සහායකයා ලෙස කටයුතු කර තිබෙන බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

2006 වසරේදී තණමල්විල පොලිස් ස්ථානයේ ආයුධ ගබඩාවේ තිබියදී ටී. 56 වර්ගයේ ගිනි අවි 2ක් අතුරුදන් වූ අතර 2008 වර්ෂයේදී තංගල්ල හා බෙලිඅත්ත පොලිස් ස්ථාන එකතුව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම අස්ථානගත වූ එක් ටී. 56 වර්ගයේ ගිනි අවියක් තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ ගංජා ව්‍යාපාරිකයකු සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගෙන තිබිණි. එම ව්‍යාපාරිකයා දකුණේ පාතාල නායකයකු වන නෙලුවේ ප්‍රියන්ත යන අයගේ සමීප හිතවතකු බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

පසුව මේ ගිනි අවි දෙක අස්ථානගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවැරීමෙන් පසු ඒ පිළිබඳව එම දෙපාර්තමේන්තුව සිදු කළ දීර්ඝ විමර්ශනයක් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක අබේකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉකුත්දා මොනරාගලට පැමිණ මේ සැකකාර හිටපු සිවිල්
----ආරක්ෂක භටයා අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ මේ සැකකාර හිටපු සිවිල් ආරක්ෂක භටයා එම ටී. 56 ගිනි අවිය රුපියල් 25,000-50,000 අතර මුදලකට පෙර කී ගංජා ව්‍යාපාරිකයාට විකුණා ඇති බවයි. තණමල්විල පොලිසියේ තිබියදී අස්ථානගත වූ අනෙක් ටී. 56 ගිනි අවිය සම්බන්ධයෙන්ද මෙම හිටපු සිවිල් ආරක්ෂක භටයා සැක කරන බවත් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon