අලුතෙන් පත්වූ පුංචි ආණ්ඩුවල ලොක්කන් කීදෙනකු වෙඩි කෑවද? හිරේ ගියාද?

  👤  3672 readers have read this article !
By mawbima 2018-06-18

පොළොන්නරුවේ -
බණ්ඩාර මුදියන්සේ

අලුත් පරපුර සමාජ ව්‍යසනයන්ගෙන් මුදා ගැනීමට භික්ෂුන් වහන්සේ, පූජ්‍ය ප්‍රසාදීන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම මවුපියන්, ගුරුවරුන් ඇතුළු සියලු දෙනා සාමූහිකව ක්‍රියා කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ පොළොන්නරුවේ ඕනෑගම මැදමළුව විහාරස්ථානයේ දායක සභාව හා ව්‍යාපාරික ප්‍රජාව එක්ව රුපියල් ලක්ෂ 110ක වියදමෙන් අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය හා රන් වැට විවෘත කිරීමේ උළෙලට එක් වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

මිනිසුන් මුදල් සෙවීමේ තරගයක යෙදී සිටිනවා. අවශ්‍යතාවන් වැඩි වෙලා. ඒ නිසා සෑම දෙයටම තරගකාරිත්වයක් නිර්මාණය වෙලා. සෑම දෙයකටම මුදල් මූලික වෙලා. බොහෝ දේ මුදලේ වටිනාකම පෙන්වන දේවල්. ඒ නිසා ඇතැම් වෙලාවට අපි දකින සමාජයේ ශික්ෂණය විනය බොහෝ විට පිරිහිලා තිබෙනවා.

මම අද කොළඹ ඉඳලා එන්න කලින් උදෙන්ම ගියේ කොළඹ රෝහලක සිටින ඊයේ පෙරේදා වෙඩි ප්‍රහාරයකට ලක්වෙච්ච කිරිවෙහෙර, කතරගම නායක ස්වාමීන් වහන්සේගේ සුව දුක් බැලීමටයි. උන් වහන්සේ වෙඩි වැදිලා හම්බන්තොට රෝහලට ගෙනාවට පස්සේ මම ගුවන් යානයක් යවලා උන්වහන්සේව කොළඹට ගෙනාව. ඒ වගේම ඔබ දැක්කා මාධ්‍යයේ අපි කවුරුත් දන්න ගෞරවනීය තරුණ භික්ෂුන් වහන්සේ නමක් අධිකරණයෙන් දඬුවමකට ලක් වුණා. ඒ වගේම ඔබ දකිනවා මේ දිනවල මාධ්‍ය තුළ, විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය මේ හැම එකකම අපේ අලුත් පළාත් පාලන ආයතනවල සභාපතිවරු, මන්ත්‍රිවරු කොහොමද හැසිරෙන්නේ කියලා. දැන් නගරාධිපතිවරු, සභාපතිවරු දිවුරුම් දීලා මාස 3ක් වගේ කාලයක් ගෙවිල තියෙන්නේ. ඔබ දකින්න ඇති මේ ටිකට කී දෙනෙක් හිරේ ගියාද කියලා. කී දෙනෙක් වෙඩි කාලා ජීවිතේ නැති කරගත්තද කියලා. ගිය සතියේ
නුවරඑළියේ අලුත් සභාපතිවරයෙක් බරපතළ චෝදනා රාශියකට සිර භාරයට ගත්තා. ගිය සතියේ ගාල්ලේ උප සභාපතිවරයෙක් වෙඩි තියලා මරලා දැම්මා. මේ සිදුවීම් ගත්තාම අපි ප්‍රධාන වශයෙන් හිතන්න ඕන අපේ සමාජය තුළ මෙවැනි සිදුවීම් වෙන්නේ ඇයි කියන කාරණාව.

ජනතාවගේ ඡන්දයෙන් පත්වන අය සිය වගකීම් ඉටු කිරීමේදී ඒ ගෞරවය ඡන්දය දුන් ඡන්දදායකයාගේ ගෞරවය කොතෙක් දුරට රකිනවාද කියන කාරණාව සිතාබැලිය යුතුයි. රටේ සාමාන්‍ය ජනතාව වගේ සෑම කෙනෙක්ම යහපත් සමාජයක් හා හෙට උපදින දරුවන්ට හොඳ රටක් නිර්මාණය සඳහා වූ සාමූහික වගකීමට බැඳී සිටිය යුතුයි. එදා නගරයේ තිබුණු මත්කුඩු මත්පෙති අද ගම්වලට ඇවිත් තිබෙනවා. මවුපියන් කොතරම් දරුවන් ආදරෙන් හැදුවත් බොහෝ වෙලාවට තරුණ පරපුර විස මත්ද්‍රව්‍ය, මත් පෙති, මත්කුඩුවලට බොහෝ ඇලුම් කරනවා. ඒ වගේම කොතරම් හොඳට ඉගෙන ගත්තත් විශ්වවිද්‍යාලයට ගිහින් නවක දරුවන්ට නවක වදය දෙන්න පෙලඹෙනවා. අමානුෂික වද හිංසා කරනවා.
අපි මහ බෞද්ධ සංස්කෘතියක් තිබෙන රටක් විදියට මෙවැනි දේවල් පිළිබඳව කනගාටු වෙන්න ඕන. අපි සියලු දෙනාම එකතු වෙලා භෞතික සංවර්ධනය වගේම ආධ්‍යාත්මික සංවර්ධනය සහිත යහපත් ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනඟන්නට ඕන.

මම සතුටු වෙනවා. මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමෙන් පසුව මගේ දේශපාලන පදනමට මට ශක්තිය ඇති කළ පොළොන්නරුවේ ජනතාව වෙනුවෙන් එවැනි විස්මිත සංවර්ධන පෙරළියක් කරන්න ලැබීම ගැන. ඒ වගේම ඉදිරි කාලය තුළත් පොළොන්නරුවට වගේම රටේ සෙසු ප්‍රදේශවලටත් කිරීමට තිබෙන සංවර්ධන කටයුතු වේගවත්ව ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon