නීති විරෝධීව චීනයට ගෙන යෑමට තැත් කළ මුහුදු අශ්වයන් හා කොතල හිඹුටු තොගය රාජසන්තකයි

  👤  3542 readers have read this article !
By mawbima 2018-06-18

කටුනායක - ගයා තිරිමාදුර

නීති විරෝධී ලෙස මුහුදු අශ්වයන් සහ කොතලහිඹුටු සහිත භාජන 8ක් චීනය බලා රැගෙන යෑමට තැත් කළ එරට වැසියන් තිදෙනකු පෙරේදා (16දා) සවස කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය.

අවුරුදු 35, 37 සහ 40 යන වයස්වල පසුවන මෙම චීන ජාතිකයන් තිදෙනා, මේවා තම ගමන් මලු තුනක සඟවා ගෙන සිටියදී අත්අඩංගුවට පත්ව තිබිණි. පෙරේදා සවස 5.35ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 884 දරන ගුවන් යානයට නැඟීම සඳහා ඔවුන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

තේ අඩංගු ටින් තුනක් තුළ ග්‍රෑම් 350ක් බර වියළන ලද මුහුදු අශ්වයන් 265ක් අසුරා ගෙන තිබූ අතර මීට අමතරව රුපියල් 1,60,000ක් පමණ වටිනා කොතලහිඹුටුවලින් සකසන ලද භාජන 8ක්ද එම ගමන් මලුවල තිබිණි.

මුහුදු අශ්වයන් සෙන්ටිමීටර් 6 සිට 11 දක්වා වූ දිගකින් යුක්ත වූ අතර ඔවුන් යොදා සාදනු ලබන විශේෂ සුප් වර්ගයක් පානය කිරීම නිසා තම ආයුෂ වැඩිවන බව චීන ජාතිකයෝ විශ්වාස කරති.

මෙම චීන ජාතිකයන් මේවා මීගමුව ප්‍රදේශයෙන් අධික මිලකට මිලදී ගෙන තිබූ බව රේගුව සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණය කර ගෙන තිබිණි.

ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්‍ෂලතා ආඥා පනත යටතේ මේවා විදේශයන්ට රැගෙන යෑම නීති විරෝධීය. චීන ජාතිකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගු අධිකාරි සුගත් ජේම්ස්, සහකාර රේගු අධිකාරිවරුන් වන රජීව් රණසිංහ, චමෝද් සමරකෝන්, වාසනා රූපසිංහ, ටී.එම්.එන්.සී.බී. තෙන්නකෝන් යන නිලධාරීන්ය.

කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්‍ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ චින්තක කුලරත්න මහතා මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්‍ෂණය පැවැත්වීය. මුහුදු අශ්වයන් සහ කොතලහිඹුටු භාජන තොගය රාජසන්තක කළ අතර මෙම චීන ජාතිකයන් තිදෙනාට අවවාද කර නිදහස් කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon