කොටින්ට සල්ලි එකතු කළ 13කට ස්විට්සර්ලන්තයෙන් නිදහස

  👤  3399 readers have read this article !
By mawbima 2018-06-18

රෝහණ බමුණුආරච්චි

ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවට අයත් එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කළ පුද්ගලයන් දහතුන් දෙනකුට සිරදඬුවම් නියම කිරීම ස්විට්සර්ලන්ත මධ්‍යම අපරාධ අධිකරණය පසුගියදා ප්‍රතික්‍ෂේප කොට තිබේ.

එම පුද්ගලයන් දහතුන් දෙනාගෙන් පුද්ගලයන් අට දෙනකු සියලු චෝදනාවලින් නිදහස් කර ඇති අතර අනෙක් පුද්ගලයන් පස් දෙනාට අත්හිටුවූ සිරදඬුවම් නියම කර නිදහස් කර ඇත. එයින් ‍ෙදාළොස් දෙනකු ද්‍රවිඩ ජාතිකයන් වන අතර එක් අයකු ජර්මන් ජාතිකයෙකි.

නිදහස් කළ පුද්ගලයන් දහතුන්දෙනා ඩබ්ලිව්.ටී.සී.සී. දෙමළ සම්බන්ධීකරණ කමිටුව නමැති සංවිධානයක සාමාජිකයන් බවත් ඔවුන් එල්.ටි.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් මුදල් රැස්කර ඇති බවත් සඳහන් කරමින් නඩු පවරා ඇත. එසේම ළමා සොල්දාදුවන් සන්නද්ධ කර අනෙකුත් සංවිධානයන්ට මූලබීජ සැපයූ බවද චෝදනා කර ඇත.

එසේම නඩුව මෙහෙය වූ ෆෙඩරල් නීතිපතිවරිය වන ජුලියෙට්ටා නෝටෝ විසින් ඉල්ලා ඇත්තේ විත්තිකරුවන්ට මාස දහඅටේ සිට වසර හය දක්වා සිරදඬුවම් ලබාදෙන ලෙසයි.

කෙසේ වුවද එම පුද්ගලයන් දහතුන් දෙනා අපරාධ සංවිධානයකට සහාය දැක්වීම සඳහා කටයුතු සිදුකළ බවට එල්ල කරන චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ සාක්‍ෂි සහ තොරතුරු ප්‍රමාණවත් නොවීම හේතුවෙන් චෝදනාවලින් සැකකරුවන් නිදහස් කිරීමට ස්විස් මධ්‍යම අපරාධ අධිකරණය කටයුතු කර ඇත.

දහතුන් දෙනාගෙන් පුද්ගලයන් පහකට අත්හිටුවූ සිර දඬුවම් ලබාදී ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් මුදල් රැස්කිරීම නිසා නොව වෙනත් වංචනික කටයුතුවල නිරතවීම හේතුවෙන් බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon