‍ෙදාළොස් හැවිරිදි සිසුවාට අමානුෂික ප්‍රහාරයක්

  👤  3524 readers have read this article !
By mawbima 2018-06-18

අනුරාධපුරය - මහේෂ් විජේසූරිය

සහෝදරියගේ නිවෙසේ තිබූ මුදල් කැටයක් සොරකම් කර පරෙවියන් මිලදී ගත් බව කියන ‍ෙදාළොස් හැවිරිදි පාසල් සිසුවකු කනත්තකට ගෙන ගොස් සොහොනක බැඳ කටෙහි පාන්කඩ ඔබා අමානුෂික අන්දමින් පොලු එකොළහක් කැඩෙන තුරු ශරීරයේ විවිධ ස්ථානයන්ට පහරදී වධ හිංසාවන් සිදුකළ මස්සිනකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් 16 වැනිදා දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. පහර කෑමට ලක්වූ බව කියන අනුරාධපුර පොලිස් වසමේ කලත්තෑව නෙලුම්කන්නිය ප්‍රදේශයේ පදිංචි හත්වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන සිසුවාගේ පියා යාපනය ප්‍රදේශයේ කඳවුරක සේවයේ නියුතු යුද හමුදා සිවිල් සේවකයකු වන අතර මව විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ල මත සැකකාර 32 හැවිරිදි මස්සිනා අත්අඩංගුවට ගෙන තිබිණි. අමානුෂික පොලු ප්‍රහාරයෙන් තැළුම් තුවාල සිදුවූ හත්වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන සිසුවා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පෙරේදා (16දා) සවස පිටව ගොස් තිබිණි.

සිසුවා මීට දින කිහිපයකට පමණ ඉහතදී සිය වැඩිමහල් සහෝදරියගේ නිවෙසට ගොස් එහි තිබූ මුදල් පිරවූ කැටය සොරකම් කර එම මුදලින් පරෙවියන් පස්දෙනකු මිලදී ගෙන ඇති බව පොලිසිය පැවැසූ අතර බිරියගේ සහෝදරයා විසින් මුදල් කැටය සොරාගෙන ඇති බව අනාවරණය කරගත් මස්සිනා පසුගිය 14 වැනිදා බාලවයස්කරුව නෙලුම්කන්නිය සොහොනට රැගෙන ගොස් ඇති බව පොලිසිය පැවැසුවේය.

ඔහු සිසුවාට විල්බැරෝවක් රැගෙන ඒමට හේනට යමුයැයි පවසා නිවෙසින් කැඳවාගෙන ගොස් නෙලුම්කන්නිය ප්‍රදේශයේ පිහිටි කනත්තේ ඇති පරණ සොහොන් කොතකට තබා අත්පා ගැටගසා පහරදීම සිදුකර තිබෙන බව පොලිසිය පැවැසුවේය.

සැකකරු කුඩා දරුවාගේ කටට පාන්කඩ ඔබා කකුල්වල යටි පතුල්වලට හා ශරීරයේ විවිධ ස්ථානයටන්ට පහරදී ඇති බවත් පහරදීම සඳහා කනත්තේ සිටුවා තිබූ ලී දඬු (කොඩි කණු) උපයෝගී කර ගෙන ඇති බවත් පොලිසිය පැවැසුවේය.

සැකකරු පැයක පමණ කාලයක් සිසුවාට අමානුෂික වධ හිංසා පමුණුවා පහරදී අනතුරුව සොහොනේම දමා පලාගොස් ඇති බවත් සොහොන ආසන්නයෙන් රාජකාරි අවසන් කර නිවෙසට ගිය පුද්ගලයකුට කුඩා දරුවකු හඬා වැටෙන හඬ ඇසී විපරමින් බලද්දී දරුවකු තුවාල ලබා සිටින අයුරු දැක ඔහුගේ මවුපියන් කවුරුන්ද යන්න අනාවරණය කරගෙන දරුවා භාරදීමට කටයුතු කර තිබූ බවත් පොලිසිය පැවැසුවේය.

බිරියගේ සහෝදරයාට පහරදීම නිසා ඔහු තුවාල ලබා රෝහල් ගතවී සිටින බව දැනගත් සැකකරු සිය මුදල් කැටය සොරකම් කළ බව කියමින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියට ගිය අවස්ථාවේ සැකකරුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු විසින් සිසුවාට පහරදීමට යොදාගත් පොලුද පොලිසිය සොයාගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකාර 32 හැවිරිදි පුද්ගලයා ඊයේ (17දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඊ.එම්. සංජීව මහනාම මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂිකා යමුනා කාන්ති මෙනෙවිය ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon