සංවෘත විමර්ශනයකට එන ලෙස මහෙස්ත්‍රාත්වරිය සියලු පාර්ශ්වවලට නියෝග කරයි

  👤  653 readers have read this article !
By mawbima 2018-06-14

කවින්ධ්‍යා පෙරේරා

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර වධ හිංසා පමුණුවන ලදැයි කියන සිද්ධියට අදාළව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හා හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා සමඟ සංවෘත විමර්ශනයක් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ලබන ජුනි 26 වැනිදා මහෙස්ත්‍රාත් නිල මැදිරියට පැමිණෙන ලෙසට ඊයේ (13දා) ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය සියලුම පාර්ශ්වයන්ට නියෝග කර සිටියාය.

සිද්ධියට අදාළ නඩුව ඊයේ (13දා) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කර සිටියාය.

මෙම විමර්ශනයට අදාළව බදුවත්ත හමුදා නිවස්නය පිළිබඳ තොරතුරු ජාතික ආරක්ෂාව හේතුවෙන් දිය නොහැකි බවට යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා දන්වා ඇති බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන ලෙසට රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මහෙස්ත්‍රාත්වරියගෙන් කරනු ලැබූ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියම කළාය. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අටවැනි සැකකරු වන යුද හමුදා බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි තිසේරා මහතා, සමූහ මිනීමැරුම් හා මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සමඟ රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය පෙනී සිටියහ.

රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ මෙම සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වන නිශාන්ත සිල්වා මහතා ඉකුත් ජුනි 09දා මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බන්ධනාගාරය තුළට ගොස් ඇති බවයි. එහිදී මෙම සැකකරු සතුව තැඹිලි පැහැති ෆයිල් කවරයක් තිබී ඇති බවත් ඒ තුළ බදුවත්ත හමුදා නිවස්නය පිළිබඳට තොරතුරු ඇතුළත් ලේඛන තිබූ බවත් බන්ධනාගාරගතව සිටින සැකකරුවකු සතුව එසේ තොරතුරු තබා ගැනීමට අවසර ගත යුතු බවත් රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණයට දන්වා සිටියාය.

ඒ අනුව මෙම සැකකරු භාරව සිටි බන්ධනාගාර ජේලර්වරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙහිදී අවසර ඉල්ලා සිටියාය.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරිය එම ඉල්ලීමට අවසර දුන්නාය.

තවද මෙම සැකකරු බන්ධනාගාර රෝහල තුළ ප්‍රතිකාර ලබමින් සිටින නමුත් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා නොමැති බැවින් ඔහුගේ රෝගී තත්ත්වය පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිට මහෙස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කර සිටියාය.

නඩුව යළිත් ජුනි 26දා කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon