මිහින් ලංකා ඇතුළු ආයතන තුනකට භාණ්ඩ ආනයනයට බිලියන සිය ගණනක බදු සහන දී තිබේ

  👤  609 readers have read this article !
By mawbima 2018-06-14

සපුමල් ජයසේන

මිහින් ලංකා, ශ්‍රී ලන්කන් ගුවන් සහ ශ්‍රී ලන්කන් කේටරින් යන ආයතනවලට භාණ්ඩ ආනයනය කිරීම සඳහා පසුගිය වසර හයක කාලසීමාව තුළ රුපියල් බිලියන සිය ගණනක බදු සහන දී තිබෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ (ආයෝජන) ගාමිණී ජයතිලක මහතා පවසයි.

ජයතිලක මහතා එසේ පැවැසුවේ මිහින් ලංකා ශ්‍රී ලන්කන් ගුවන්, ශ්‍රී ලන්කන් කේටරින් යන ආයතනවල සිදුව ඇතැයි පැවැසෙන අක්‍රමිකතා පිළිබඳව සෙවීමට පත් කොට ඇති ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (13දා) සාක්කි දෙමින්ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට 2012 වසරේ සිට 2015 වසර දක්වා රුපියල් බිලියන 254ක සහ 2015 වසරේ සිට 2018 වසර දක්වා රුපියල් බිලියන 307ක බදු සහන දී ඇතැයි ජයතිලක මහතා කියා සිටී.

එමෙන්ම ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය සඳහා 2012 වසරේ සිට 2015 වසර දක්වා රුපියල් බිලියන දෙකක් සහ 2015 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළ රුපියල් බිලියන තුනයි දශම පහක්ද දී ඇතැයි හෙතෙම කොමිසම හමුවේ සාක්කි දෙමින් සඳහන් කෙළේය.

මිහින් ලංකා ආයතනයට පසුගිය වසර හයක කාලසීමාවටම දී ඇත්තේ රුපියල් මිලියන 385ක බදු සහනයක් පමණක් බව ගාමිණි ජයතිලක මහතා එහිදී පැවැසීය.

මෙහිදී ශ්‍රී ලංකා ගුවන් නියමු සංගමයේ සභාපති කපිතාන් රුවන් විතානගේ මහතා සාක්කි දෙමින් කියා සිටියේ වසර 2006 සිට 2008 දක්වා කාලසීමාව තුළ පරිපාලනය කළ එමිරේට්ස් ආයතනය විසින් ගුවන් සමාගමෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවූ බවයි. නමුත් පසුව ගුවන් සමාගමෙහි කාර්යක්ෂමතාව මෙන්ම එහි විනිවිදභාවය පිළිබඳව ගැටලු පැනනැඟුණු බව ඔහු සඳහන් කළේය.

ගුවන් සමාගමේ ප්‍රතිසංවිධාන කටයුතුවල මෙන්ම සේවා මුරවලද ගැටලු පැනනැඟුණු බව කියා සිටි කපිතාන් විතානයේ මහතා ඇතැම් පත්වීම් දේශපාලන මැදිහත්වීම් මත සිදු වූ බව කියා සිටියේය.

හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නීල් උහම්බුව මහතා විසින් මෙහිදී සාක්ෂි මෙහෙයවනු ලැබීය.

කොමිසම අද (14දා) පෙරවරුවේ නැවත රැස්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon