මහින්දානන්දගේ පෙත්සම සමථ කර ගැනීමට නීතිපතිගෙන් ඉල්ලීමක්

  👤  610 readers have read this article !
By mawbima 2018-06-14

කමල් මහේන්ද්‍ර වීරරත්න

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ පවරා ඇති නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවට මාරු කරන ලෙස ඉල්ලා සිටිමින් අලුත්ගමගේ මහතා විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් සමථයක් ඇති කරගැනීමට නීතිපතිවරයා අදහස් කරන බැවින් ඔහුගේ මතය ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ රජයේ නීතිඥවරයා කළ ඉල්ලීමකට අභියාචනාධිකරණය ඊයේ (13දා) අවසර දුනි.

අභියාචනාධිකරණ විනිසුරුවන් වන කුමුදිනී වික්‍රමසිංහ හා එස්. තුරෙයිරාජා යන ද්විපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ එම පෙත්සම ඊයේ කැඳවා තිබිණි.

ජේ‍යෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා සමඟ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා පෙත්සම්කාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වන ලද අතර එහිදී නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා විනිසුරු මඬුල්ලට දන්වා සිටියේ මෙම කරුණ සම්බන්ධයෙන් සමථයකට එළැඹීමට අදහස් කරන බැවින් නීතිපති මතය ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම වෙනත් දිනයක කැඳවන මෙන් ඉල්ලා සිටින බවයි. ඒ සම්බන්ධයෙන් පෙත්සම් පාර්ශ්වයෙන් කිසිදු විරෝධතාවක් ඉදිරිපත් නොවූ බවත් පෙත්සම මේ මස 18 වැනි දින යළි කැඳවීමට විනිසුරු මඩුල්ල දින නියම කළේය.

මෙම සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය යන චෝදනාව යටතේ අධි චෝදනා ගොනුකොට ඇති අතර එකී අධිචෝදනා නඩු විභාගය මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ ආරම්භ විය.

එහිදී අලුත්ගමගේ මහතා වෙනුවෙන් මහාධිකරණය හමුවේ පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ප්‍රථම නඩු දිනයේදීම මෙම නඩුව උක්ත විනිසුරුවරයා හමුවේ විභාගයට ගැනීම සම්බන්ධයෙන් සිය බලවත් විරුද්ධත්වය ප්‍රකාශ කරන බැව් ප්‍රකාශ කර සිටියේය.

එහෙත් එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරු කුලතුංග මහතා තමාම මෙම නඩුව දිගටම විභාග කරන බව දැඩිව කියා සිටිමින් නඩු විභාගය ආරම්භ කළේය.

ඒ අනුව උද්ගත වූ එකී තත්ත්වය පැහැදිලි කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.

ඔහු එම පෙත්සමෙන් ප්‍රකාශ කොට සිටිනුයේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට එරෙහිව මූල්‍ය අපරාධ පොලිසිය විසින් ගොනුකළ මෙවැනිම නඩුවක් විභාග කොට එම දෙදෙනාම වරදකරුවන් කොට ඔවුන් දෙදෙනාට සිර දඬුවම් නියම කළ බවත්, එම නඩු තීන්දුවේදී ප්‍රකාශ වී ඇති කරුණු මඟින් දේශපාලනමය නැඹුරුවක් විද්‍යමාන වන බැවින් එකී විනිසුරුවරයාගෙන් දේශපාලනඥයකු වන තමාටද අපක්ෂපාතී හා සාධාරණ විනිශ්චයක් අපේක්ෂා කළ නොහැකි බැවින් මෙලෙස තම නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවට යොමු කරන ලෙස අයැද සිටින බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon