පතපොත කියවීමෙන් බන්ධනාගාර රැඳවියන් සදාචාරසම්පන්න මිනිසුන් බවට පත්වනවා

  👤  633 readers have read this article !
By mawbima 2018-06-14

ජේ.ටී. ද සිල්වා

බන්ධනාගාර රැඳවියන් පතපොත කියවීම මඟින් නිදහස් සහ සදාචාර සම්පන්න මිනිසුන් මෙන්ම සමාජයට වැඩදායී පුද්ගලයන් බවට පත් කිරීමේ නව වැඩසටහනක් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් විසින් ක්‍රියාවට නැංවීමට යයි.

හොඳ පොත් කියවීම මඟින් ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනස් කොට නැවත බන්ධනාගාරයට නොපැමිණෙන නිදහස් මිනිසුන් මේ හරහා නිර්මාණය කිරීමටද ඇමැතිවරයා අපේක්ෂා කරයි.

ග්‍රාමීය පුස්තකාල සංවර්ධනය කිරීම යටතේ ගංවතුර සහ හදිසි ආපදා හේතුවෙන් විනාශ වූ පුස්තකාල නැවත ගොඩනැංවීම සඳහා දැව භාණ්ඩ සහ පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක් වෙමින් අදහස් පළ කළ ඇමැතිවරයා "කුමන හේතුවක් නිසා හෝ බන්ධනාගාර ගත වන පුද්ගලයන් බන්ධනාගාරය තුළ ද විවිධ විෂමාචාර ක්‍රියාවලට පෙලඹීමේ ප්‍රවණතාවක් අද සමාජය තුළ දැක ගත හැකි වෙනවා. ඒ මඟින් ඔවුන් තව තවත් අපරාධවලට පෙලඹීමට හෝ විවිධ පාතාල කල්ලිවලට සම්බන්ධවීම සිදුවෙනවා. ඇතැම් විට බන්ධනාගාරයෙන් පැන යෑමට නැඹුරු වන අවස්ථාද අද විරලව දැක ගත හැකියි."

"මෙම ප්‍රවණතාව මඟහරවා ගනිමින් කිනම් හේතුවක් නිසා හෝ බන්ධනාගාර ගත වන පුද්ගලයකු එම බන්ධනාගාර ගතවීම තුළින් නව මිනිසකු බවට පත් කොට සාමය, සදාචාරය හා මනුෂ්‍යත්වය අගයන මිනිසකු බවට පත්කොට නැවත සමාජගත කිරීමේ අවශ්‍යතාව වර්තමානයේ දැඩිව පවතිනවා. ඒ සඳහා නෛතිකමය විසඳුම් මෙන්ම ශක්තිමත් ප්‍රතිපත්තිමය විසඳුමද අවශ්‍යයි."

"පොත් කියැවීම සඳහා බන්ධනාගාර රැඳවියන් හුරුකොට, එම කියවීම් ඇසුරෙන් ඔවුන්ට අධ්‍යයනයන් කිරීමට ඉඩ ලබා දිය යුතුයි. එසේ අධ්‍යනයන් කරන රැඳවියන් හට විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ හා ශක්තිමත් නීත්‍යනුකූල පදනමක් යටතේ ජනාධිපතිවරයාගේ විශේෂ අවසරයක් මත ඔවුන්ගේ දඬුවම් කාලයේ යම් ලිහිල් කිරීමක් සිදු කර ඔවුන් නිදහස් සහ සදාචාරසම්පන්න මිනිසුන් ලෙස සමාජයට මුදාහැරීම පිළිබඳව සලකා බැලීමට හැකිවෙනවා."

"විධිමත් කමිටුවක් යටතේ බන්ධනාගාර රැඳවියන් සඳහා කියවීමට සුදුසු පොත් ලැයිස්තුවක් සකස් කර එම පොත්පත් සහ තවත් පහසුකම් ද බන්ධනාගාර පුස්තකාල වෙත ලබා දෙමින් බන්ධනාගාර පුස්තකාල සංවර්ධනය කිරීමට වැඩසටහනක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙනවා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon