ඉදිරි මාස 18දී අලුතින් ලක්ෂ 5කට සමෘද්ධිය දෙනවා

  👤  654 readers have read this article !
By mawbima 2018-06-14

හර්ෂනී අර්සකුලරත්න

දැනට සමෘද්ධි සහනාධාරය හිමි පිරිසට අමතරව මේ වසර අවසන් වීමට පෙර තවත් ලක්ෂ 4කට අලුතින් සමෘද්ධි සහනාධාර ලබා දෙන බව සමාජ සවිබල ගැන්වීම් ඇමැති පී. හැරිසන් පවසයි.

එළැඹෙන 2019 අප්‍රේල් වන විට අලුතින් තවත් ලක්ෂයක් පමණ දෙනාට සමෘද්ධි සහනාධාරය ලබා දීමට කටයුතු යොදන බව ද ඇමැතිවරයා පැවැසුවේය.

මේ වසරේ සමෘද්ධිය ලබා දෙන ලක්ෂ 04 අතරින්, ලක්ෂ 02කට පමණ අගෝස්තු මාසය වන විට සමෘද්ධිය ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉතිරි ලක්ෂ 02ක් වූ පිරිසට දෙසැම්බර් මාසය වන විට සමෘද්ධි ප්‍රතිලාභය හිමිකර දීමට කටයුතු කරන බවත්, ඔහු පැවැසුවේය.

ඒ අනුව, ඉදිරි වසර එකහමාර තුළදී ලක්ෂ 5කට අලුතින් සමෘද්ධිය ලබා දීම සිය අමාත්‍යාංශයේ ඉලක්කය වන බවද ඔහු පැවැසීය.

මේ හරහා එක් කොට්ඨාසයක පවුල් 10කට _ 12කට අලුතින් සමෘද්ධි ප්‍රතිලාභය හිමිවනු ඇතැයිද, සමෘද්ධි නිලධාරි, ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි යන අයගේ නිර්දේශ මත ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හරහා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට, අමාත්‍යාංශයට අදාළ ඉල්ලුම්පත් එවිය යුතු බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එසේම සමෘද්ධි සහනාධාර ඉල්ලා සිදු කරන අභියාචනා තනි _ තනිව ඉදිරිපත් කරන ලෙසටද ඔහු පවසයි.

සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු පුද්ගලයන් තේරීමේදී ස්වේච්ඡා සංවිධානවල, ආගමික සංවිධානවල, මහජන නියෝජිතයන්ගේ, සමෘද්ධි නිලධාරි, ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් වැනි නිලධාරීන්ටද අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙන බවත්, සමෘද්ධි ඇමැතිවරයා වූ පමණින් පාට පක්ෂ අනුව සමෘද්ධිය ලබාදීමට තමා සූදානම් නැති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මධ්‍යම නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නියඟයෙන් පීඩා විඳි ගොවි පවුල් වෙත නියං සහනාධාර බෙදා දීම සඳහා එක්වෙමින් ඇමැතිවරයා ඒ බව පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon