ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමට තීරණ

  👤  628 readers have read this article !
By mawbima 2018-06-14

දෙනගම ධම්මික රණවීර

පරිසරය සම්බන්ධයෙන් වර්තමානයේ උද්ගතවී ඇති ගැටලු සහ අනාගතයේදී උද්ගත වනු ඇතැයි අපේක්ෂා කරන ගැටලු විසඳීමට හැකි වන පරිදි ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමට පෙරේදා (12දා) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව 1980 අංක 47 දරන පාරිසරික පනත සංශෝධනය කිරීමට නියමිතය.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මෙහෙයුම් සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් දුම්රිය එන්ජින් 12ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ සඳහා කැනඩා අපනයන සංවර්ධන ආයතනයේ සහයෝගය මත ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 48.67ක ණය මුදලක් ලබා ගැනීමට නියමිතය.

උදාගම්මාන ආශි්‍රතව එක් රැස් වන නොදිරන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා එම ගම්මානයන්හි "සම්පත් පියස" ඒකක පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. පරිසර සංරක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ මෙහෙයවීම මත එම කටයුතු සිදු කෙරේ. මේ වනවිට වත්මන් රජය යටතේ ඉදිකර ඇති ආදර්ශ ගම්මාන සංඛ්‍යාව 75කි.

පසුගිය 2014දී කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල හා අලුත්ගම සිදුවූ ගැටුම්වලින් විනාශ වූ දේපළ සඳහා රුපියල් මිලියන 185.9ක වන්දි ගෙවීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්දීය ණය ආධාර යටතේ මගී මැදිරි 160ක් මිලදී ගැනීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය පළකර ඇත. ඇමෙරිකන් ඩොලර් මිලියන 82.63ක මුදලකට එම්.එස්. රයිට්ස් ලිමිටඩ් ආයතනයෙන් එම එන්ජින් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල මුළු පිරිවැය ඇස්තමේන්තු හා කොන්ත්‍රාත් පිරිවැය විචලපයන් සමාලෝචනය කිරීම සඳහා පිරිවැය ඇස්තමේන්තුද සමාලෝචන කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිලාධාරීන්ගෙන් සමන්විතයම එම කමිටුව පිහිටුවීමට නියමිතය.

රජය ක්‍රියාවට නංවන සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමේදී ඉන්ජිනේරු ඇස්තමේන්තු ඉක්මවූ මුදලකට කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම එම තීරණයට හේතු වී තිබේ.
ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ ඛනිජ වැලි මෙටි්‍රක් ටොන් 25,000ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට විකිණීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. ඛනිජ වැලි මෙටි්‍රක් ටොන් 1ක් ඇමෙරිකානු ඩොලර් 145.25කට විකිණීමට නියමිතය.

උතුර හා නැඟෙනහිර පළාත්වල සංවර්ධන වැඩසටහන් මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසුවිපරම පිණිස කාර්ය සාධක බළකායක් පත් කිරීමට කැබිනට් මණඩලය අනුමැතිය දී තිබේ. ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව අගමැති, පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ලේකම්වරුන් හා සන්නද්ධ සේවයේ පළාත් භාර නියෝජිතයන්ගෙන් සමන්විතව එම කමිටුව පිහිටුවීමට නියමිතය.

මුදල් අමාත්‍යාංශය 2017 වසර සඳහා නිකුත් කළ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon